hit counter

2024 ජූනි මස 19 වන බදාදා

2024 මැයි 17, ප.ව. 4:56



ශ්‍රී දළදා මාලිගාව හා මහජන බැංකුව එක්ව සමාජ සත්කාරක මෙහෙවරක් ලෙසින් ‘බෞද්ධ සුබසාධන අරමුදල’ අධ්‍යාපනික ශිෂ්‍යත්ව වැඩසටහන පසුගියදා දියත් කරන ලදි.

මෙහි සමාරම්භය දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ 02, මහජන බැංකුව ප්‍රධාන කාර්යාලයේදි පසුගියදා සිදුකෙරිණි.

මෙහිදි මෙම වැඩපිළිවෙළ ආරම්භ කරමින් මහජන බැංකුව විසින් ‘බෞද්ධ සුබසාධන අරමුදල’ වෙත පරිත්‍යාගයක් සිදුකළ අතර, සිසු දරුවන් වෙත ශිෂ්‍යත්ව පිරිනැමිමද සිදුකෙරිණි.

මෙම බෞද්ධ සුබසාධන අරමුදල මහජන බැංකුව හා ශ්‍රී දළදා මාලිගාව එක්ව මුල්වරට 1995 වසරේදි පිහිටවූ අතර, ජාති ආගම් භේදයකින් තොරව, එය හෙට දින ලොව දිනන දරු පරපුරේ අනාගත සුබසිද්ධිය වෙනුවෙන් ඉමහත් ශක්තියක් විය. මේ තුළින් සිය අධ්‍යාපන දිවිය අලෝකමත් කරගත් ශිෂ්‍ය ස්වාමින් වහන්සේලා සහ පාසල් දූ දරුවන් දහස් ගණනකි.

මෙහි නව වැඩපිළිවෙල 2024 මැයි මාසයේ සිට ක්‍රියාත්මක කෙරෙන අතර, එමඟින් දැනට ලැබෙන ප්‍රතිලාභ වැඩි කර අඩු ආදායම්ලාභි පවුල්වල දරුවන්ට ප්‍රතිලාභ ලබාදීමට අපේක්ෂිතය. ඒ අනුව දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ බොහෝමයක් අතරින්, එක් කොට්ඨාශයකින් සිසු සිසුවියන් 10 බැගින් තෝරාගනිමින් දියත් කරන මෙම වැඩසටහන තුළින් 6-11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් 2000කට මාසිකව ශිෂ්‍යත්ව පිරිනැමෙයි. එසේ වසර පහක් තුළ සිසු සිසුවියන් 10000කට පමණ ශිෂ්‍යත්ව පිරිනැමිම මෙහි අරමුණයි. මෙම වැඩපිළිවෙලේ පළමු අදියර ලෙස මහජන බැංකුව සහ එහි කාර්ය මණ්ඩලය මේ අරමුදල සඳහා දායකත්වය පිරිනමයි.

මේ පිළිබඳ අදහස් දැක්වූ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා – ‘ලොව පුරා බෞද්ධයින්ගේ මුදුන්මල්කඩ වන ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩසිටින ශ්‍රී දළදා මාලිගාවෙන් සිදුකරන ආගමික කටයුතු වලට අමතරව ජාතික ආගම් භේදයකින් තොරව මෙරට සෑම ජාතියකම, ආගමකම ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් ‘අපේ සත්කාරය’ යන තේමාව යටතේ සමාජ සත්කාරක වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවනවා. මේ වෙනුවෙන් මහජන බැංකුව, ශ්‍රී දළදා මාලිගාව සමඟ නිරන්තරයෙන්ම අත්වැල් බැඳගත්තා. එසේ 1995 වසරේදි බෞද්ධ සුබසාධන අරමුදල පිහිටුවන ලද්දේද මෙරට දූ පුතුන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන්.

ශ්‍රී දළදා මාලිගාවේ අරමුදලින් පමණක් මේ වන විට රුපියල් මිලියන 500ක මුදලක් මේ ශිෂ්‍යත්ව අරමුදල සඳහා ප්‍රදානය කර තිබෙනවා. අදින් ඇරඹෙන මේ නව වැඩපිළිවෙලත් සමඟ ‘බෞද්ධ සුබසාධන අරමුදල’ තවත් ශක්තිමත් වනු ඇති. හෙට දින දේශයේ ශක්තිය වන්නේ නැණ නුවනින් මෙන්ම ගුණ දහමින්ද පිරිපුන් දරු පරපුරයි. ඔවුන්ට ලෝකය දිනනු පිණිස මේ උත්තම සත්කාරය හේතුවනු ඇති බව අපගේ විශ්වාසයයි.’

මේ පිළිබඳ අදහස් දැක්වූ මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා ‘රටේ ජීවනාලිය වන් දරු පරපුර වෙනුවෙන් මහජන බැංකුව හා ශ්‍රී දළදා මාලිගාව එක්ව ක්‍රියාවට නංවන මෙම ‘බෞද්ධ සුබසාධන අරමුදල’ අධ්‍යාපනික ශිෂ්‍යත්ව වැඩසටහන ඉතාමත් කාලෝචිත පියවරක් ලෙස මා දකිනවා. ශ්‍රී දළදා මාලිගාවේ නිල බැංකුකරු ලෙසද මහජන බැංකුව කටයුතු කරන අතර, ජාතියේ මුදුන්මල්කඩ බඳූවූ දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින ශ්‍රී දළදා මාලිගාව හා අප බැංකුව අතර ඇත්තේ දශක ගණනාවක් මුඵල්ලේ පැවත එන ගෞරවනීය බැඳීමක්. ශ්‍රී දළදා මාලිගාවේ ඇසල පෙරහැර මංගල්‍යයටද දශක ගණනාවක් මුඵල්ලේ මහජන බැංකුව අඛණ්ඩව අනුග්‍රාහකත්වය දක්වනවා. මේ නව වැඩසටහන තුළින් අප අතර ඇති එම බැඳීම තවදුරටත් තහවුරු වනු ඇති.’

මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා මහතා ‘පුරා හැට තෙවසරක් පුරා ශ්‍රී ලාංකීය ජනතාවට බැංකු හා මූල්‍ය පහසුකම් පිරිනැමීමෙන් නොනැවතී සිය ආයතනික සමාජ වගකීම් ඉටුකිරීමටද මහජන බැංකුව පියවර ගත්තා. ඒ ලාභයම මූලික අරමුණ කර නොගත් මෙරට පොදු ජනතාව හා බැඳුනු බැංකුවක් වශයෙන්.
මේ වන විට මහජන බැංකුවේ සමාජ සත්කාරක වැඩසටහන් මාලාව ‘මහජන මෙහෙවර’ යන නමින් ක්‍රියාත්මක වන අතර, එහි තවත් එක් පියවරක් ලෙස මෙසේ දිවයිනේ අඩු ආදායම්ලාභි පවුල්වල දරු දැරියන්ගේ අධ්‍යාපන අවශ්‍යතාවයන් වෙනුවෙන් ශ්‍රී දළදා මාලිගාව සමඟ එක්ව මෙලෙස ‘බෞද්ධ සුබසාධන අරමුදල’ දියත් කිරීමට කටයුතු කරනු ලැබුවා. ඉදිරියේදීද මෙවන් උතුම් සමාජ සත්කාරක වැඩසටහන් සඳහා දායකත්වය ලබාදීම අපගේ අරමුණයි.’

මේ අවස්ථාවට මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (පුද්ගල කේන්ද්‍රිය බැංකු කටයුතු) ටී.එම්.ඩබ්ලිව්. චන්ද්‍රකුමාර, අලෙවි ප්‍රධානි නාලක විජයවර්ධන, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ) නලින් පතිරණගේ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මානව සම්පත්) මංජුල දිසානායක, මහනුවර ප්‍රාදේශීය කළමනාකාර නලින් පොත්තවෙල, ශ්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය හා විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත හිස්සැල්ල යන මහත්වරුන් ඇතුළු මහජන බැංකුවේ සහ ශ්‍රී දළදා මාලිගාවේ නිලධාරින් සහභාගි වූහ.