2026 අප්‍රේල් 23, ප.ව. 7:08
දිව්වා සුළි කුණාටුවෙන් අවතැන් වූ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් වෙනුවෙන් ඉදිකෙරෙන නිවාස ව්‍යාපෘතියක් සඳහා මහජන බැංකුව රජයේ Rebuilding Sri Lanka අරමුදලට රු.මිලියන 300ක මුදලක් පරිත්‍යාග කරයි. මහජන බැංකුව සිය ‘මහජන මෙහෙවර සමාජ සත්කාරක වැඩ සටහන් මාලාව යටතේ 65 වන සංවත්සරයට සමගාමීව මෙය සිදු කරනු ලබයි.
මේ සඳහා වන සංකේතාත්මක චෙක්පත් මහජන බැංකුවේ සභාපති නාරද ප්‍රනාන්දු සහ ප්‍රධාන විධායක නිලධාරි සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා යන මහත්වරුන් විසින් ජනාධිපති ලෙකම් ආචාරය නන්දික සතත් කුමානායක මහතා වෙත පිරිනැමීම කොළඹ 01. ජනාධිපති ලේකම් කාර්යාලයේදී පසුගියදා සිදුකරන ලදී. මහජන බැංකුවේ අලෙවිකරණ ප්‍රධානි නාලක විජයවර්ධන මහතා ද මේ අවස්ථාවට සහභාගි විය.
2025 නොවැම්බර් මාසයේදී දිවයිනට බලපෑ දිවා සුළි කුණාටුව හේතුවෙන් නුවරඑළිය නගරය නාය යාමට ලක් වූ අතර, විශාල පිරිසකගේ නිවාස ද විනාශයට පත් විය. ඔවුන්ට ස්ථිර නිවාස ලබා දීම සඳහා නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍යාංශය විසින් ආරම්භ කළ වැඩසටහනට මහජන බැංකුව විසින් මෙම මුල්‍යාධාර පිරිනමන ලදී.
මෙම නිවාස සංකීර්ණය මහල් නිවාස ගොඩනැගිලි 3කින් සමන්විත වන අතර, එක් ගොඩනැගිල්ලකට නිවාස 40 බැගින් නිවාස 120ක් ඉදිකිරීමට අපේක්ෂිතය.
මීට අමතරව ජනතාවගේ පහසුව වෙනුවෙන් මාර්ග, වාහන නැවැත්වීමේ පහසුකම්, අපජල පද්ධති සහ සූර්ය බල ශක්තියෙන් ක්‍රියා කරන විදුලි පහන්ද මෙහිදී ස්ථාපනය කෙරේ. එමෙන්ම සෞඛ්‍ය පීධ්‍යස්ථානයක්, දිවා සුරැකුම් මධ්‍යස්ථානයක්, වෙළෙඳ සැල්, ක්‍රීඩා පිටි සහ බැංකු ශාඛාවක්ද මීට ඇතුළත් වේ. මෙහි එක් ගොඩනැගිල්ලක් මාස 6ක කාලයක් ඇතුළත නිම කිරීමට සැලසුම් කර ඇති බැවින් ආපදාවට ලක්වු පවුල්වලට ඉක්මනින්ම නව නිවසක පදිංදිංචි වීමේ අවස්ථාවද උදා වනු ඇත.
මෙම ව්‍යාපෘතියේ සියලු සැලසුම් සහ උපදේශන කටයුතු රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මගින් සිදු කරන අතර, ඉදිකිරීම් කටයුතු ජාතික ප්‍රමිතීන්ට සහ නිසි නාගරික සැලසුම්වලට අනුකුලව සිදු කෙරේ.
ශ්‍රී ලංකාවේ විශාලතම ශාඛා ජාලයට හා ගනුදෙනුකාර පිරිසට හිමිකම් කියන මහජන බැංකුව, මෙරට ජනතාවට මුල්‍ය පහසුකම් ලබාදීමෙන්ම නොනැවතී නිරන්තරයෙන්ම මෙවැනි සමාජ සත්කාරක කටයුතු වල නිරත වෙයි. ජාතියේ අභිමානය යන තේමාව යටතේ ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීමට සහ රටේ සංවර්ධනයට බැංකුව දක්වන දායකත්වය මින් තවදුරටත් තහවුරු වේ.