hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 මාර්තු 15, පෙ.ව. 8:01



ශ්‍රී ලංකාවේ යාත්‍රා සහ ධීවර ආම්පන්න නිෂ්පාදනය කරන රජය සතු එකම සමාගමවන සීමාසහිත සීනෝර් පදනම SLT Digital Services සමග එක් වී සිය වෙබ් අඩවිය සම්පූර්ණයෙන්ම වැඩිදියුණුකර නැවත දියත් කිරීමට පසුගියදා කටයුතු කළේ ය. නව ඩිජිටල් යුගයට වඩාත් හොඳින් අනුගත වීමේ අරමුණින් එම පදනම විසින් මෙම පියවර ගන්නා ලදි.

මෙහිදී අදහස් දැක්වූ සීනෝර් පදනමේ සභාපති ආචාර්ය දුලාන් හෙට්ටිආරච්චි මහතා, විශේෂයෙන්ම යුරෝපය සහ ජපානය ඇතුළුව ලෝකයේ රටවල් හා කලාප රැසක මෙරට මත්ස්‍ය නිෂ්පාදන සඳහා පවතින දැඩි ඉල්ලුම තුළින් උපරිම ප්‍රයෝජන ගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කළ යුතු බව අවධාරණය කළේ ය. “ශතවර්ෂ දෙකක් පුරා සමාගම තේ සහ රබර් වැනි සාම්ප්‍රදායික නිෂ්පාදන අපනයනය කළා. එහෙත් මත්ස්‍ය නිෂ්පාදන අපනයන සම්බන්ධයෙන් පවතින අවස්ථාවලින් අප තවමත් නිසි ප්‍රයෝජන ගෙන නැහැ. මෙම තත්ත්වය වෙනස් කිරීම සඳහා දායක වීමට, යාත්‍රා නිෂ්පාදනය සම්බන්ධයෙන් දීර්ඝකාලීන අත්දැකීම් ඇති සීනෝර් පදනමට හැකියාව තිබෙනවා. මෙහිදී අපට ෆයිබර් බෝට්ටු නිෂ්පාදනය මගින් මෙන්ම, බහුදින යාත්‍රා සඳහා තිරසර විසඳුමක් ලෙස සූර්ය බලශක්තිය භාවිතා කිරීම වැනි ක්‍රියාමාර්ග ඔස්සේ ඊට දායක වීමට පුළුවන්.” හෙට්ටිආරච්චි මහතා පැවසී ය.

මෙහිදී 2009 වසරේදී උතුරු පළාතේ සහ කරෙයිනගර් ප්‍රදේශයේ ක්‍රියාවට නැංවූ පුනරුත්ථාපන වැඩසටහනක් සිහිපත් කළ හෙට්ටිආරච්චි මහතා, ධීවර කර්මාන්තයට පමණක් නොව, මේ වනවිට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින සංචාරක කර්මාන්තයටද (විශේෂයෙන්ම තල්මසුන් නැරඹීම වැනි ක්‍රියාකාරකම් සඳහා) දායක වීමට සීනෝර් පදනමට හැකියාව තිබෙන බව පෙන්වා දුන්නේ ය. 

වැඩිදියුණුකර දියත්කරන ලද නව වෙබ් අඩවිය, විනිවිදභාවය, නවෝත්පාදනය සහ පාරිභෝගික-කේන්ද්‍රීයත්වය උදෙසා සීනෝර් පදනම දක්වන කැපවීමට මනා සාක්ෂියකි. මෙම වෙබ් අඩවිය, ක්ෂේත්‍රයේ නවතම ප්‍රවණතා, නව නිෂ්පාදන සහ සමාගමේ නවතම පුවත් ආදිය එසැණින් ඇතුළත්වන පරිදි සැලසුම්කර ඇති නිසා පාරිභෝගිකයන් ඇතුළු සියලුම පාර්ශ්වයන්ට එම තොරතුරු ඉතාමත් ඉක්මනින් දැනගැනීමට අවස්ථාව හිමි වේ. එමෙන්ම පරිශීලකයන්ට ඉතාමත් පහසුවෙන් භාවිතා කළ හැකි ආකාරයට සහ ඉක්මනින් සීනෝර් පදනම සමග සම්බන්ධ විය හැකි ආකාරයට මෙම වෙබ් අඩවිය නිර්මාණයකර තිබේ.

“සීමාසහිත සීනෝර් පදනමේ ඩිජිටල් ආවරණ පරාසය පුළුල් කිරීම සඳහා ඔවුන් සමග එක්ව කටයුතු කිරීමට හැකි වීම අපට මහත් සතුටක්. ව්‍යාපාරික මෙහෙයුම්වල පූර්ණ පරිවර්තනයක් සිදුකිරීම සඳහා නවීනතම තාක්ෂණය භාවිතා කිරීමට අප සෑම විටම උත්සාහ කරනවා. මෙම හවුල්කාරීත්වය නව ජාත්‍යන්තර වෙළඳපොළවල් වෙත දොරටු විවරකරන හවුල්කාරීත්වයක් වනු ඇතැයි කියා මට විශ්වාසයි.” SLT Digital Services හි ප්‍රධාන විධායක නිලධාරී උපුල් මංචනායක මහතා පැවසී ය.

සීමාසහිත සීනෝර් පදනම පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා එහි නවතම වෙබ් අඩවිය වන www.ceynor.gov.lk වෙත පිවිසෙන්න.  

සීමාසහිත සීනෝර් පදනම පිළිබඳව

සීමාසහිත සීනෝර් පදනම ශ්‍රී ලංකාවේ යාත්‍රා සහ ධීවර ආම්පන්න නිෂ්පාදනයකරන රජය සතු එකම සමාගමයි. දශක ගණනක ඉතිහාසයක් සහිත එම සමාගම විශිෂ්ටත්වය, නවෝත්පාදනය හා තිරසරත්වය වෙනුවෙන් කැප වී සිටින අතර, ගෝලීය සම්බන්ධතා ගොඩනංවා ගන්නා අතරම ක්ෂේත්‍ර රැසකට සේවා සැලසීමට සෑමවිටම සූදානමින් සිටී.

SLT Digital Services පිළිබඳව

SLT Digital Services (Pvt) Limited (SLT-DIGITAL) යනු  Sri Lanka Telecom PLC හි පූර්ණ අයිතිය යටතේ පවතින, අලෙවිකරණ සේවා හා ඩිජිටල් සම්බන්ධතා විසඳුම් සපයන අනුබද්ධ සමාගමකි. එම සමාගම ජාත්‍යන්තර හවුල්කරුවන් සමග අත්වැල් බැඳගනිමින්, ඩිජිටල් ලෝකය තුළ සාර්ථක වීම සඳහා උපකාරීවන විශිෂ්ට තලයේ විසඳුම් රාශියක් හඳුන්වා දී තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: