hit counter

2025 මැයි මස 09 වන සිකුරාදා

2025 මැයි 09, පෙ.ව. 6:59



ඊයේ දිනයේ සිට ඉන්දියාව සහ පාකිස්ථානය අතර දේශසීමාව මෙන්ම කශ්මීරයේ දෙරට අතර පාලන සීමාව නැවතත් උණුසුම් වාතාවරණයක් ගෙන තිබෙනවා.

මැයි 8 වනදා අලුයම් කාලයේ පාකිස්ථානය විසින් ඉන්දියාවේ ඉලක්ක ගණනාවකට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළේ යැයි ඉන්දියාව චෝදනා කළා. මැයි 8 උදෑසන වරුවේ පාකිස්ථානයේ ඉලක්ක කිහිපයකට ඉන්දීය ඩ්‍රෝන ප්‍රහාර එල්ල වුණා. ලාහෝරයේ හමුදා ඉලක්කයකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් සිව් දෙනකු තුවාල ලද බව වාර්තා කර තිබුණා.

සමස්ථයක් ලෙස ඩ්‍රෝන ප්‍රහාර 25 ක් පමණ එල්ල කළ බවයි පාකිස්ථානය විසින් ප්‍රකාශ කෙරුණේ. එයින් එකක් පාකිස්ථාන හමුදා මූලස්ථානය පිහිටි රාවල්පිණ්ඩි නගරයට ද එල්ල කර තිබුණා.

ඊයේ (මැයි 8) රාත්‍රියේ දෙපාර්ශවය විසින් ම එකිනෙකාට පහර දුන්නේ යැයි චෝදනා කරගනු ලැබුණා. ඉන්දියාවේ කඳවුරු කිහිපයකට මිසයිල ප්‍රහාර එල්ල වූ බවත් එම මිසයිල ගුවන් ආරක්ෂණ පද්ධතිය විසින් විනාශ කළ බවත් ඉන්දියාව පවසනවා. නමුත් තමන් එම කඳවුරුවලට පහර නුදුන් බව පාකිස්ථානය සඳහන් කළා.

මේ අතර පතන්කෝට් ප්‍රදේශයේදී පාකිස්ථාන ගුවන් යානයක් බිම වැටුණ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළ ද එය තහවුරු වී තිබුණේ නැහැ. තවද කාශ්මීරයේ නවුශෙරා ප්‍රදේශයට ද ඩ්‍රෝන ප්‍රහාර එල්ල වූයේ යැයි ඊයේ රාත්‍රියේ ඉන්දියාව කියා සිටියා.