hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2023 මාර්තු 09, ප.ව. 2:06



සීගිරිය මධ්‍ය මහා විද්‍යාලයේ ගොඩනැඟිල්ලකට පෙරේදා (07) රාත්‍රියේ වන අලි ප්‍රහාරයක් එල්ල වීම හේතුවෙන් විද්‍යාලයේ ගොඩනැඟිල්ලට බරපතළ හානි සිදු වී ඇතැයි විදුහල්පති ප්‍රියන්ත දිසානායක මහතා ඒෂියන් මිරර් වෙත පැවැසුවා.

උදෑසන පාසල් දරුවන් තම පන්ති කාමරයට පැමිණෙන විට වන අලියා විසින් විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ පන්ති කාමරයේ බිත්ති කඩා පුටු, ඩෙස් සියල්ල විනාශ වී ඇති අයුරු දැක ගැනීමට හැකි වූ බව මවුපියෝ හා සිසු සිසුවියෝ පවසනවා.

වසර 5කට අධික කාලයක සිට සීගිරිය මධ්‍ය මහා විද්‍යාලයේ ගොඩනැඟිලි, තාප්ප, ක්‍රීඩාංගණය ආදී ස්ථාන ගණනාවකට අලි ප්‍රහාර එල්ල වී තිබෙන බවත් ඒ පිළිබඳව බලධාරීන්ට ලිඛිතව, වාචිකව දැනුවත් කළ ද මෙතෙක් කිසිදු විසදුමක් නොවූ බවද අවසානයේදී පොදු දේපළ, දරුවන්ට ඉගෙන ගැනීමට තිබූ ගොඩනැඟිල්ල විනාශ වූ බව විදුහල්පති ප්‍රියන්ත දිසානායක සඳහන් කළා.

විද්‍යාලයේ අලි වැටක් සැකසීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වනජීවී දෙපාර්තමේන්තුව, ආරක්ෂක අමාත්‍යාංශය ආදී බොහෝ දෙනෙකු සඳහා ඇස්තමේන්තු සකසා තිබුණු බවත් එහෙත් කිසිදු බලධාරියෙක් මේ පිළිබඳව අවධානයක් නොදක්වමින් එක් එක් කණ්ඩායම් වන අලි තර්ජනය පාසලට සිදුවෙන හානිය දේශපාලන පිල් බෙදීමක් නිසා දවසින් දවස කල් දමන බව මවුපියෝ පවසනවා.

සීගිරිය මහා විද්‍යාලයේ මෙම ගොඩනැඟිල්ලට වන අලි ප්‍රහාරය එල්ල වීමත් සමඟ දැඩි ලෙස විනාශ වී ගොස් තිබෙන බවත් දරුවන්ගේ ඩෙස් පුටු සහ ක්‍රියාකාරකම් සියල්ල බිත්තිවලට යටවී විශාල අනතුරක් බවට පත්ව ඇතැයිද පාසල් සිසු සිසුවියෝ පවසනවා.

පළමු වසරේ අධ්‍යාපනය ලබන දරුවන් රැසක් සිටි මෙම පන්තියේ උදෑසන එන විට දුටු දසුන නිසා කුඩා දරුවන් දැඩි භීතියට පත්ව දැඩි කනස්සල්ලෙන් පසුවන අයුරු එහි ගිය ඒෂියන් මිරර් ප්‍රාදේශීය වාර්තාකරුට දැක ගැනීමට හැකි වූ බවත් කුඩා දරුවන් කියා සිටියේ තමන්ගේ පන්තිය වන අලින් කඩා දමා ඇති බවයි.

මේ පිළිබඳව සීගිරිය වනජීවි කාර්යාලයෙන් විමසීමේදී එහි උසස් නිලධාරියකු පාසලේ ආරක්ෂිත විදුලි වැට ඉදිකිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික උපදෙස් සහ අනුමැතිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට, ආපදා කළමනාකරණ කාර්යාලයට යවා ඇති බව පැවැසුවා.

කෙසේ වෙතත් මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්නගෙන් විමසීමේදී කියා සිටියේ එකවරම විශාල මුදලක් රජයෙන් ලබා ගැනීමට අපහසුතා පවතින බවත් එම නිසා වනජීවී දෙපාර්තමේන්තුවේ ඇති කණු ලබාගෙන ඔවුන්ගේ තාක්‍ෂණික දැනුම ලබාගෙන ප්‍රදේශයේ ස්වේච්ඡා සංවිධාන ඒකරාශි කරගෙන කඩිනමින් විදුලි වැටක් ඉදිකිරීම සඳහා තමන් අවශ්‍ය නායකත්වය ලබාදෙන බව සඳහන් කළා.