hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2023 මැයි 05, ප.ව. 12:00



පහ වසර ශිෂ්‍යත්වයෙන් ලකුණු 150ත් 160ත්  ලබාගත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ දරුවන් 70කට දෙබරවැව ජාතික පාසල් සිහිනය අහිමි කරමින් යටාල කනිෂ්ඨ විද්‍යාලයේ ශිෂ්‍යත්වය අසමත්ව ලකුණු 123 සීමාවේ සිටින දරුවන් 120ක් අක්‍රමවත් ලෙස දෙබරවැව ජාතික පාසලට ඇතුළත් කරගෙන ඇතැයි ශිෂ්‍යත්වය සමත් දරුවන්ගේ මාපිය එකමුතුව චෝදනා කරනවා.

මේ පිළිබඳව අධ්‍යාපන බලධාරීන් මෙන්ම අදාළ ඇමැතිවරයාට ලිඛිතව දන්වා ඇතත් ඊට  විසඳුමක් ලබාදී නැතැයි එම මවුපියෝ සඳහන් කළා.

මේ පිළිබඳ සොයා බැලීමේදී තිස්සමහාරාම නගරාසන්නව පිහිටි යටාලතිස්ස කනිෂ්ඨ විද්‍යාලය, දෙබරවැව ජාතික පාසලේ පෝෂිත පාසලක් යැයි කියමින් සෑම වසරකම එහි 6 වසරට සමත්වන දරුවන් දෙබරවැව ජාතික පාසලට ඇතුළත් කරගෙන ඇතත් පෝෂිත පාසලක් ලෙස නම්කර ඇති බවට කිසිදු ලියවිල්ලක් එම පාසල් දෙක අතර හෝ කලාප කාර්යාලවල මෙන්ම ඉසුරුපායේත් නොමැති බව එම ආයතනවල බලධාරීන්ගෙන් කළ විමසීමකදී අනාවරණය වුණා.

හම්බන්තොට කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරියද පසුගිය අප්‍රේල් 5 වැනිදා ඉසුරුපාය අධ්‍යාපන ලේකම්වරයාට ලිපියක් යවමින් මෙම ගැටලුවට විසඳුමක් ඉල්ලා තිබෙනවා.

ශිෂ්‍යත්වය සමත් වූ දරුවන්ට හ/දෙබරවැව ජාතික පාසලට ඇතුළත්වීමට නොහැකි වී ඇති බවත් එම කොට්ඨාසයේම හා/යටාලතිස්ස කනිෂ්ඨ විද්‍යාලයේ පෝෂිත පාසල හ/දෙබරවැව ජාතික පාසල යැයි පවසමින් සෑම වර්ෂයකම පහ වසර ශිෂ්‍යත්වය අසමත් දෙබරවැව ජාතික පාසලට ඇතුළත් කිරීමේ කඩඉම් ලකුණු මට්ටමට වඩා පහළින් සිටින ළමයින් 120ක් පමණ දෙබරවැව ජාතික පාසලට ඇතුළත් කිරීම ඊට හේතුව බවත් එම ලිපියෙන් ඇය පෙන්වාදී තිබෙනවා.

තවද මෙම හේතු නිසා ශිෂ්‍යත්වය අසමත් සිසුන් සඳහා ප්‍රදේශයේ ජනප්‍රිය පාසල වන දෙබරවැව ජාතික පාසලට ඇතුළත්වීමේ අවස්ථාව ලැබෙන බවත් ශිෂ්‍යත්වය සමත් නමුත් එම පාසලට ඇතුළත්වීමේ කඩඉම් ලකුණට ඉහළින් සිටින දරුවන්ට එම අවස්ථාව නොලැබී යන බවත් එම ලිපියේ සඳහන් වෙනවා.

මේ පිළිබඳව ප්‍රදේශයේ මහ නාහිමිවරුන්ගේද අවධානය යොමුවී ඇති අතර ප්‍රදේශයේ අධ්‍යාපන බලධාරීන් දේශපාලනඥයන් හා ධන කුවේරයන්ගේ දරුවන් යටාලතිස්ස කනිෂ්ඨ විද්‍යාලයට කූට ලිපි ලේඛන මඟින් ඇතුළත් කරන බව ප්‍රදේශවාසී නාහිමිවරුද චෝදනා කළා.

ශිෂ්‍යත්වය අසමත් වුවද ඔවුන්ගේ දරුවන් යටාලතිස්ස කනිෂ්ඨ විද්‍යාලය හරහා දෙබරවැව ජාතික පාසලට ඇතුළත් කිරීමේ කූට ව්‍යාපාරය නිසා ශිෂ්‍යත්වය සමත් වන දරුවන් බොහෝ පිරිසකට දෙබරවැව ජාතික පාසල අහිමිවන බව නාහිමිවරු සඳහන් කළා.