hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ජූලි 27, ප.ව. 2:29



බඳින තුවක්කුවක් පත්තු වීමෙන් තුවාල ලබා තිරප්පනේ ආශි්‍රතව ගැවසෙන ‘අග්බෝ’ ඇතාගේ වම්පස ඉදිරි පාදයේ එක්ස්කිරණ ඡායාරූප ලබා ගැනීමට ඊයේ (26) පශු වෛද්‍ය කණ්ඩායම් කටයුතු කළ බව වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (ව්‍යාපෘති) මංජුල අමරරත්න මහතා පැවසුවා.

වෙඩි වැදීමෙන් හස්තියාගේ වම්පස ඉදිරි පාදයේ අස්ථි බිඳීමක් සිදු වී ඇතැයි සැකකෙරෙන නිසා කොළඹින් සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍යවරු කණ්ඩායමක් ඊයේ (26) තිරප්පනේ බලා පිටව ගිය බවද ඔහු සඳහන් කළා.

සත්ත්වයාට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ඔෟෂධ ඇතුළු අනෙකුත් පහසුකම් අඩුවක් නොමැතිව පවතින බවද අවශ්‍ය වන සෑම විටම කොළඹ සිට හෝ ඒවා සපයා ප්‍රවාහනය කිරීමට කටයුතු යොදා ඇති බවද මංජුල අමරරත්න මහතා කියා සිටියා.

පශු වෛද්‍යවරුන්ට සත්ත්වයාට ප්‍රතිකාර කිරීමට පහසු කිරීම සඳහා එම සත්ත්වයා සිටින ස්ථානය නිශ්චිතව හදුනාගැනීමට වන ජීවී නිලධාරීන්ගෙන් සැදුම්ලත් විශේෂ කණ්ඩායමක් එම සත්ත්වයා නිරතුරුවම නිරීක්ෂණය කිරීමට යොදවා ඇතැයිද ඔහු පැවැසුවා.

මේ සත්ත්වයා යම් සීමාවකට කොටුකර ප්‍රතිකාර ලබාදිය යුතු බවට ඇතැමුන් යෝජනා කළද නිදහසේ වනයේ සැරිසැරූ සත්ත්වයකු එක් ස්ථානයකට කොටු කිරීමෙන් උගේ ආතතිය ඉහළ යෑමෙන් තවත් පීඩාවක් ගෙනදෙන්නක් නිසා සත්ත්වයා නිරීක්ෂණය කිරීමට කණ්ඩායමක් යෙදවූ බවද හෙතෙම කියා සිටියා. 

දිනපතා එම සත්ත්වයා නිරීක්ෂණය කරමින් අඛණ්ඩව ප්‍රතිකාර කටයුතු සිදුකරන බවද ඔහු අවධාරණය කළා.