hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2023 ජූලි 09, පෙ.ව. 1:14



මේ දිනවල සමාජයේ දැඩි කතාබහක් ඇති වී තිබෙන මාතෘකාවක් තමයි අලි.

ඉතින් මේ වෙනකොට මුතුරාජා තායිලන්තයට ගෙන යෑමත් සමඟම අනෙක් අලි ගැනත් ගොඩක් දෙනෙක් හොයන්න ගත්තා.

මේ දිනවල තිරප්පනේ ප්‍රදේශයේ සිටින අග්බෝ නම් ඇතා රෝගී තත්ත්වයට පත් වෙලා.

එම ඇතාට මේ වන විට ප්‍රතිකාර සිදු කෙරෙමින් පවතිනවා.

ඒ සම්බන්ධයෙන් එම ඇතාට ප්‍රතිකාර කණ්ඩායම මෙසේ අදහස් දක්වා සිටියා.

මෙම අග්බෝ කියන ඇතා තිරප්පනේ ප්‍රදේශයේ තුවාල ලබා සිට අපිට මුලින්ම හම්බුනේ ජූනි දොළොස් වෙනිදා. මෙයාගේ ඉදිරි වම් පාදයට බඳින කඳක් වැදිලා විශාල ලෙස හානි වෙලා තිබුණා. එම අත ආසාදනය වෙලා ඉදිමිලා තිබුණා. මෙයාට ඇවිදීමට නොහැකි තත්වයක් තමයි ඒ අවස්ථාවේ නිරීක්ෂණය කරේ. ජූනි දොළොස්වෙනිදා ඉඳලාම අපි අවස්ථා ගණනාවක් මෙම ඇතාට ප්‍රතිකාර ලබා දුන්නා. සමහර අවස්ථාවල අන්ටිබයටික්ස් දාලා ප්‍රතිකාර ලබා දුන්නා. තාමත් මේ ඇතා අසාධ්‍ය තත්වයේ තමයි සිටින්නේ. නමුත් පෙරට වැඩිය දැන් ඇවිදිනවා.

සාමාන්‍යයෙන් ආහාර ගන්නවා. යම්තාක් සුව අතට හැරෙමින් තිබෙනවා. නමුත් දිගින් දිගටම ප්‍රතිකාර කටයුතු කරන්න සිදු වෙනවා. නිරන්තරයෙන් වනජීවී නිලධාරීන් මෙම ඇතා ගැන සොයා බලමින් එම ප්‍රතිකාර කටයුතු ඉදිරියටත් කරගෙනයන්ට කටයුතු කරනවා. තුවාල වලට තමයි ප්‍රතිකාර කරන්නේ. අපි මේක තුවාලෙට ප්‍රතිජීවක ඖෂධ ලබා දීම සිද්ධ කරන්නේ. අනිත් අලි වගේ සම්පූර්ණයෙන්ම නිද්‍රාවට පත් කරලා කරන්න අමාරුයි. මොකද මෙයාගේ විශාල දළ දෙකක් තියෙනවා. විශාල ශරීරයක් තියෙනවා. අනිත් එක මෙයා අසාධ්‍ය තත්වයේ ඉන්නේ. මෙයාගේ අසාධ්‍ය කකුල යට වුණොත් මෙයාට නැගිටින්න බෑ.

දළ දෙක බර වැඩියි. හිස බර වැඩියි. එතකොට මෙයා දුර්වල තත්වයෙන් සිටින අවස්ථාවේ මෙයාට නැගී සිටීමට අපහසු වෙනවා. ඒ හින්දා මෙයා වට්ටලා ප්‍රතිකාර කිරීම මෙයාගේ ජීවිතේට හානියක් වෙන්න පුළුවන්. ඒ හින්දා අපි මෙයා සෙඩෙට් කරලා සිටගෙන ඉන්නවා ප්‍රතිකාර ලබාදීම තමයි කරන්නේ. ඉදිරියේදී දිගටම අපි ප්‍රතිකාර ලබා දෙනවා. සෑම සතියකම දින තුන හතරක් අපි මේ ආකාර ප්‍රතිකාර ලබා දෙනවා. ඒ වගේම තිරප්පනේ ප්‍රදේශයේ නිලධාරීන් මේ ඇතා පිළිබඳ නිරන්තරයෙන් අවධානයෙන් නිරීක්ෂණය කරමින් ඒ සම්බන්ධව තොරතුරු අපිට ලබා දෙනවා. මේ ඇතා සම්පූර්ණයෙන් සුව වන තෙක් අපිට ප්‍රතිකාර කිරීමට බලාපොරොත්තු වෙනවා.

ඉදිරිපස වම් පාදයේ බරපතල තුවාල සහිතව සිටින අග්බෝ හස්තියාට ප්‍රතිකාර ලබාදීම ඊයේ සිදු කෙරෙන බව වාර්තා වෙනවා.

හස්තියා පෙරේදා තිරප්පනේ වනජීවී කලාපයට අයත් අනිත් ස්ථානය වැව් පිටියේ සිටිනු දක්නට ලැබුණා.

ප්‍රතිකාර කරන අතරතුර අග්බෝ දැඩි ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන ආකාරයක්ද දක්නට ලැබුණා.

නමුත් වනජීවී නිලධාරීන් ඇතාට දැඩි ආරක්ෂාවක් දෙමින් ප්‍රතිකාර කටයුතු කරන බව දක්නට ලැබුණා.