hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 මාර්තු 22, පෙ.ව. 9:23



වැල්ලවාය, ඇල්ලවල ඇල්ලේ දිය නාමින් සිටි තරුණයන් සිවු දෙනෙකු ඊයේ (21) දියේ ගිලී මියගොස් ඇතැයි වැල්ලවාය පොලිසිය පැවසුවා.

මෙලෙස මියගොස් ඇත්තේ, අහමඩ් ලෙබ්බේ මොහොමඩ් අන්සාල්, අබුබකර් අනාස්, මොහොම්මදු මුල්තාර් මොහොමඩ් අන්සිස් සහ මොහොමඩ් ලාසීර් මොහොමඩ් ෆන්සාල් යන සමන්තුරේ, කල්මුණේ, සයින්දමරුදු ප්‍රදේශවල පදිංචි පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලැබූ අවුරුදු විස්සත් විසි දෙකත් අතර වයසේ පසුවන තරුණයෝ සිවු දෙනෙක්.

මියගිය සිවු දෙනා තවත් මිතුරන් හය දෙනෙකු සමග යතුරුපැදි පහකින් පොතුවිල් ප්‍රදේශයට යන බවට පවසා නිවෙස්වලින් පිටව ගොස් ඇති අතර ඔවුන් කෙලින් ම පැමිණ ඇත්තේ වැල්ලවාය ඇල්ලවල ඇල්ල නැරඹීමටයි.

ඔවුන් දස දෙනාගෙන් කිහිප දෙනෙකු දිය නෑමට ඇල්ලට බැස ඇති අතර සිවු දෙනකු දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා.

සිද්ධිය අසල්වාසීන්ට දැනුම් දීමෙන් අනතුරුව අසල්වාසීන් විසින් ඒ බැව් වැල්ලවාය පොලිසියට දැනුම්දී තිබෙනවා.

පොලිසිය සහ ප්‍රදේශයේ කිමිඳුම් කටයුතුවල නිරත වන ගම්වාසීන් කිහිප දෙනෙකු අතුරුදන් වී ඇති තරුණයන් සිවුදෙනා ගොඩට ගැනීමට මහත් පරිශ්‍රමයක් දරා ඇතත් සවස් වනතුරු ඔවුන් සොයා ගැනීමට නොහැකිවී තිබුණා.

වැල්ලවාය ප්‍රදේශ භාර සහකාර පොලිස් අධිකාරි එච්.එම්. ජයතිලකගේ උපදෙස් පිට වැල්ලවාය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී.එම්. කරුණාතිලක සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

පසුගිය කාලසීමාව පුරා මෙම ස්ථානයේ දිය නෑමට පැමිණ දියේ ගිලී පුද්ගලයන් 13 දෙනෙකු මියගොස් ඇති අතර මෙම තරුණයින් සිවුදෙනා සමග ඇල්ලේ දිය නෑමට පැමිණ මියගිය මුළු පුද්ගලයන් ගණන 17ක්.

පසුගිය දිනවල ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් ඇල්ලේ ජලය වැඩි වී තිබී ඇති අතර වැල්ලවාය ප්‍රාදේශීය සභාව මගින් දිය නෑමට තහනම් කර අවදානම් සීමාව ලකුණු කර තිබූ කම්බි වැට ද සැඩ පහර හේතුවෙන් ගලවාගෙන ගොස් තිබී තිබෙනවා.

මෙම ඇල්ල නැරඹීමට යන අවස්ථාවේ ඒ අසල ව්‍යාපාරික කාන්තාවක මෙම ඇල්ලේ දිය නෑම අනතුරුදායක බව ත් දිය නෑමට යන්නට එපා යැයි පවසා ඇතත් එය ගණනකට නොගෙන තරුණයින් ඇල්ලට පැන ඇතැයි ගම්වාසීහු කියයි.

දියේ ගිලී අතුරුදන් වූ තරුණයින් සෙයා ගැනීම සඳහා නාවික හමුදාවේ කිමිඳුම්කරුවන්ගේ සහය ලබා ගැනීමට කටයුතු යොදා ඇතැයි වැල්ලවාය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී.එම්. කරුණාතිලක මහතා පැවසුවා.

දිය ඇල්ලේ ඇති අනාරක්ෂිතභාවය සම්බන්ධයෙන් දිගින් දිගට ම වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ හඬ නැඟූ එම කොට්ඨාසයේ හිටපු සභා මන්ත්‍රී සනී ද සිල්වා මෙසේ කියා සිටියා.

“මම ඇල්ලේවල දිය ඇල්ලේ පළමු වන මරණය සිදුවුණු දවසේ ඉඳලා මේ ඇල්ලවල ආශ්‍රිතව ආරක්ෂිත වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා කතා කළා. මෙම දිය ඇල්ල ආශ්‍රිතව පිහිටුවා තිබෙන ඇල්ලේවල සුරැකීමේ සංවිධානය ශක්තිමත් කරලා ඔවුන්ට ආර්ථික ප්‍රතිලාභයක් ලැබෙන අතරතුර ආරක්ෂිතව ඇල්ලේවල ඇල්ල නැඹීමට ඉඩකඩ හදන්න කතා කළා. ශත පහකට ගණන් ගත්තේ නෑ. එහෙම තියෙද්දි දෙන්නා තුන්දෙනා මැරුණා. ඊට පස්සෙ කළේ ඇල්ලේවල දිය ඇල්ල තාවකාලිකව වහලා දාපු එක. ලෝක ප්‍රසිද්ධ දිය ඇල්ල වහලා මේ ප්‍රශ්නය විසඳන්න බෑ. ඒක නිසා අවුරුදු හතරක් පුරා සෑම සභා වාරයක ම කතා කළා. හිටපු ප්‍රාදේශීය ලේකම්, පොලිසිය, ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන්ගේ කඩිනම් අවධානයට ලක්නොවීමත් ස්ථිර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවීමත් නිසා මේ අවාසනාවන්ත තත්ත්වය උදාවුණා. මම පසුගිය අවසන් සභාවේදීත් මේ සම්බන්ධයෙන් කතා කළා. නිලධාරීන්ගේ නොසැලකිලිමත්කම නිසා තමයි මේ දේවල් සිද්ධවෙන්නේ. දැන්වත් මොළේ පෑදිලා අවශ්‍යතාව තියෙනවා නම් විසඳුම් ක්‍රියාත්මක කරන්න පුළුවන්.”