hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 අප්‍රේල් 28, පෙ.ව. 6:48



ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්විය යුතු බවට බල කිරීමේ උද්ඝෝෂණ මාලාවක් ඇමරිකා එක්සත් ජනපදයෙහි වාසය කරන ශ්‍රී ලාංකිකයන් විසින් ලබන මැයි 01 වනදා පැවැත්වීමට නියමිතයි.

සංවිධායකයන්ගේ අරමුණ වන්නේ එකම වෙලාවක ඇමරිකා එක්සත් ජනපදය පුරා ස්ථාන ගණනාවකදී මෙම උද්ඝෝෂණ පැවැත්වීම යි​.

ඒ අනුව මැයි පළමු වනදා ඇමරිකාවේ නැගෙනහිර වෙලාවෙන් (Eastern Time) සවස 2 ට මෙම උද්ඝෝෂණ ආරම්භ වීමට නියමිත යි​.

නිව් යෝර්ක් නගරයේ ටයිම් චතුරශ්‍රය​, වොෂිංටන් ඩී.සී., කැලිෆෝර්නියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලිස් සහ සැන් ෆ්‍රැන්සිස්කෝ යන නගර​, ඇට්ලන්ටා නගරයේ CNN මූලස්ථානය අසළ යනාදී ස්ථාන පනහක පමණ එකම වෙලාවේ මෙම උද්ඝෝෂණ ආරම්භ කෙරෙනු ඇති බව සංවිධායකයෝ අප හා පැවසුවා​.

මීට පෙර ද ඇමරිකාවේ විවිධ ස්ථානවල රාජපක්ෂ ජනාධිපතිවරයාට​ ඉල්ලා අස්වන ලෙස බලපෑම් කෙරෙන උද්ඝෝෂණ පැවැත්වුණා.

කෙසේ වෙතත් එම විරෝධතා තනි තනිව සංවිධානය වූ ඒවා විය​. මැයි පළමු වනදා උද්ඝෝෂණ මාලාවේ අරමුණ එක්සත් ජනපදය පුරා ඒකාබද්ධ විරෝධතාවයක් සංවිධානය කිරීමයි.

ජනාධිපති රාජපක්ෂට ඉල්ලා අස්වන ලෙස බලපෑම් කරන අතරම​, ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය පිළිබඳව එරට මහජන නියෝජිතයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ද මෙම ශ්‍රී ලාංකිකයන් විසින් සංවිධානය කර තිබෙනවා.

මේ අනුව රාජපක්ෂ පවුලේ සාමාජිකයන් ඇමරිකාවේ මිලදී ගෙන ඇති බව කියන​ දේපල පිළිබඳ පරික්ෂා කරන ලෙස ඉල්ලීම් කෙරෙන සන්දේශයන් එරට ප්‍රාන්ත සෙනට් සභිකයන්ට​, ප්‍රාන්ත කොන්ග්‍රස් සභිකයන්ට මෙන්ම ප්‍රාන්ත රාජ්‍ය ලේකම්වරුන්ට ලබාදීමේ වැඩපිළිවෙලක් ද සංවිධානය කර තිබෙනවා. මෙහිදී එම මහජන නියෝජිතයන් හමුවීමට ගොස්, පුද්ගලිකව කරුණු දක්වා එම සන්දේශ බාරදීමට නියමිතයි​.

ඇමරිකාවේ වාසය කරන වෘත්තිකයන්, ශිෂ්‍යයන් ආදී ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් ජාති, ආගම් සහ දේශපාලන පක්ෂ භේද නොමැතිව මෙම උද්ඝෝෂණයට සහභාගී වීමට නියමිත බව වාර්තා වනවා.