hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2022 සැප්‍තැම්‍බර් 06, ප.ව. 4:57



ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ඇමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව මඟින් පසු ගිය 2021 ඔක්තෝබර් මාසයේදී නිල වශයෙන් භාර දෙන ලද පී 627 ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව, ශ්‍රී ලංකා නාවික හමුදා මෙහෙයුම් අවශ්‍යතාවලට ගැලපෙන පරිදි සිදුකල නවීකරණ කටයුතු වලින් පසු, ඇමරිකාවේ සියැටෙල් වරායේ සිට කොළඹ වරාය බලා පසුගිය 03 වනදා ගමන් අරඹා ඇතැයි ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා.

ඇමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත්ව තිබූ ඇමෙරිකානු වෙරළාරක්‍ෂක නෞකා ‘ඩග්ලස් මුන්රෝ’ නෞකාව (EX USCGC Douglas Munro) ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත 2021 ඔක්තෝබර් මස 26 වන දින නිල වශයෙන් භාර දීමෙන් පසු, පී 627 දරණ පෙනන්ට් අංකය (Pennant Number) යටතේ ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සමූහයට එක්වුණා.

එම නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු අධිකාරියට පත්කිරීමට නියමිතව ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ.

‘Hamilton Class High Endurance Cutter’ යන නෞකා පන්තියට අයත් දෙවන නෞකාව ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවට එක්වූ මෙම නෞකාව දිගින් මිටර 115ක්, උපරිම වේගය පැයට නාවික සැතපුම් 29ක් ද එක් වරකදී අවම වශයෙන් නාවික සැතපුම් 14000ක දුරක් ආවරණය වන පරිදි ආවේක්‍ෂණ කටයුතු සිදු කිරීමේ හැකියාවෙන් සහ 187ක පමණ නැව් මුළුවකින් මෙහෙයුම් කටයුතු සිදුකළ හැකි නවීන තාක්‍ෂණික උපාංග හා පහසුකම් වලින් සමන්විත වනවා.

ඒ අනුව, මෙම නෞකාව නිල වශයෙන් භාරගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නාවික හමුදා මෙහෙයුම් අවශ්‍යතාවලට ගැලපෙන පරිදි අවශ්‍ය තාක්‍ෂණික හා නවීන උපාංග එක් කර නවීකරණය කිරීමෙන් පසු, ශ්‍රී ලංකා නාවික හමුදා කාර්ය මණ්ඩලයක් විසින් පී 627 නෞකාව කොළඹ වරාය වෙත රැගෙන ඒම සඳහා, ඇමෙරිකාවේ සියැටෙල් වරායෙන් පසුගිය 03 වැනිදා එරට වේලාවෙන් උදෑසන 09ට ගමන් අරඹා ඇතැයි නාවික හමුදා මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.

පී 627 නෞකාව මාස දෙකකට ආසන්න දීර්ඝ මුහුදු ගමනකින් පසු 2022 නොවැම්බර් මස පළමු සතිය තුලදී කොළඹ වරායට සේන්දුවීමට නියමිතව ඇති අතර, එම ගමන් මගෙහිදී සැපයුම් හා සේවා අවශ්‍යතා සපයා ගැනීම සඳහා ඇමරිකාවේ හවායි හී හොනොලුලූ (Honolulu) වරාය, ඇමරිකාවේ ගුවාම් හී(Guam) අප්‍රා (Apra)වරාය, පිලිපීනයේ මැනිලා (Manila) වරාය හා සිංගප්පූරුවේ චැංගි (Changi) යන වරායන් වෙත සේන්දුවීමට නියමිතයි.

තවද, සාගර කාලාපයේ පොදු සමුද්‍රීය අභියෝග ජය ගැනීම උදෙසා හවුල්කාරීත්වය ශක්තිමත් කිරීමේ සහ වර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රි ලංකා නාවික හමුදාව වෙත මීට පෙර ශ්‍රී ලංකා නාවික නෞකා ‘සමුදුර’ (පි 621) සහ ‘ගජබාහු’ (පි 626) යන ගැඹුරු මුහුදු අවේක්ෂණ නෞකා ඇමෙරිකානු වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව මගින් ලබා දී තිබෙනවා.

අතර, එම හවුල්කාරීත්වය තවදුරටත් වර්ධනය කිරිමේ අරමුණින් ඇමෙරිකානු වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් ශ්‍රි ලංකා නාවික හමුදාව වෙත ලබා දුන් තෙවන නෞකාව ලෙස මෙම ‘පී 627’ නෞකාව සනිටුහන් වෙයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: