hit counter

2026 නොවැම්‍බර් මස 03 වන අඟහරුවාදා

2026 නොවැම්‍බර් 04, පෙ.ව. 12:21



 නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා ආනයනය කරන ලද ගල්අඟුරුවල ප්‍රමිතිය සම්බන්ධ ගැටලුව සහ ඒ හේතුවෙන් සිදු වූ බව කියන ආර්ථික අලාභය ගණනය කිරීම පිළිබඳව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) දරන මතය තමන්  පිළිනොගන්නා බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අවධාරණය කළේය.

අද දෙරණ ‘360’ දේශපාලන සංවාදාත්මක වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

නොරොච්චෝලේ බලාගාරයේ ගල්අඟුරු දහනය නිසි පරිදි සිදුනොවීමෙන් හටගත් විදුලි හිඟය පියවා ගැනීම සඳහා අධික පිරිවැයක් සහිත ඩීසල් බලාගාර ක්‍රියාත්මක කිරීමට සිදුවීම, හදිසි ටෙන්ඩර්  මඟින් ගල්අඟුරු මිලදී ගැනීමට රුපියල් බිලියන 2 කට අධික මුදලක් වැයවීම මෙන්ම පරීක්ෂණ කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 13 ක් වැයවීම පිළිබඳව මෙහිදී වැඩසටහන මෙහෙයවූ මාධ්‍යවේදී කළිඳු කරුණාරත්න මහතා ප්‍රශ්න කළේය.

විශේෂයෙන්ම විදුලිබල නියාමන ආයතනය වන මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිල වාර්තාවක් උපුටා දක්වමින් මාධ්‍යවේදියා පෙන්වා දුන්නේ, විකල්ප විදුලි උත්පාදනය සඳහා භාවිත කළ ඩීසල් වෙනුවෙන් රජය ලබාදුන් සහනාධාරය ඉවත් නොකර, සැබෑ ආර්ථික වෙළෙඳපොළ පිරිවැය මත පදනම්ව සමස්ත අලාභය ගණනය කළ යුතු බව කොමිසමේ ස්ථාවරය වී ඇති බවයි. ඒ අනුව මෙම ප්‍රශ්නය නිසා සිදුව ඇති සැබෑ පාඩුව රුපියල් බිලියන 20 කට ආසන්න වන බව කොමිසම පෙන්වා දී තිබේ.

මහජන උපයෝගිතා කොමිසමේ එම තර්කය සම්පූර්ණයෙන්ම බැහැර කළ අමාත්‍ය අනුර කරුණාතිලක මහතා, රාජ්‍ය නියාමන ආයතනයක් සමඟ ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ විවාද කිරීම සදාචාරාත්මක නොවුණ ද, අමාත්‍යවරයා ලෙස සිය ස්ථාවරය ප්‍රකාශ කිරීමට තමන්ට අයිතියක් ඇති බව සඳහන් කළේය. කොමිසම දරන මතය සහ තම ස්ථාවරය යනු පරස්පර කරුණු දෙකක් බවද හෙතෙම කියා සිටියේය.

ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු සැපයූ බවට චෝදනා එල්ල වන සැපයුම්කාර සමාගම්වලින් රුපියල් බිලියන 18.116 ක දැවැන්ත මුදලක් මේ වන විට රජය විසින් රඳවාගෙන ඇති බව අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය. කෙසේ වෙතත්, අදාළ සමාගම් මෙම මුදල් රඳවා ගැනීමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගවලට සහ බේරුම්කරණ අධිකරණ ක්‍රියාවලියට එළඹෙනු ඇති බැවින්, එම සම්පූර්ණ මුදලම රජයට අත්පත් කරගත හැකි වෙතැයි සහතික විය නොහැකි බවද ඔහු පිළිගත්තේය.

රජය සහ මහා භාණ්ඩාගාරය විසින් වෙන් කරන ලද රුපියල් බිලියන 57 ක ඉන්ධන සහනාධාරය සමස්ත රටේ ආර්ථිකය හා පොදු ප්‍රවාහනය වෙනුවෙන් ලබාදුන් සාමාන්‍ය ප්‍රතිපාදනයක් මිස, ගල්අඟුරු ප්‍රශ්නය නිසා ලබාදුන් එකක් නොවන බව අමාත්‍යවරයා පැහැදිලි කළේය. එම මුදල හැරුණු විට ගල්අඟුරු ප්‍රමිතිය පිළිබඳ අර්බුදය හමුවේ රජයට හෝ භාණ්ඩාගාරයට කිසිදු අතිරේක මුදලක් වැය කිරීමට සිදු නොවූ බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: