hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 මැයි 29, පෙ.ව. 10:27



අනුරාධපුරය නගර සභාව පොසොන් උත්සවයට සමගාමීව අනුරාධපුරය වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණයේ සංවිධානය කර ඇති පුරවර උදානය සැණකෙළිය හේතුවෙන් එම ප්‍රදේශයේ මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් අපහසුතාවට පත්වන බව අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියෝ පවසනවා.

ජුනි 04 සිට 11 වැනිදා දක්වා පැවැත්වෙන මෙම සැණකෙළි කාලසීමාව තුළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට බාධා මතුවන බවට සිසුන් සහ මවුපියන් පැමිණිලි කර ඇතැයිද උන්වහන්සේ සඳහන් කළා.

පොසොන් පින්කම් උත්සවය සන්දර්ශනයක් බවට පත්කර නොගතයුතු බව පැවැසූ එහිමියෝ අවුරුදු 40ක් තිස්සේ තමන් වහන්සේ එවැනි දෑට විරුද්ධ වූ බව ප්‍රකාශ කළා.

ඒ අනුව සාමාන්‍ය පෙළ සිසුන්ට බාධාවක් නොවන අයුරින් මෙම සැණකෙළිය පැවැත්වීම පිළිබඳව නගර සභාවේ අවධානය යොමුවිය යුතු බවද හේමරතන හිමියෝ අවධාරණය කළා.

පුරවර උදානය සැණකෙළිය පැවැත්වෙන හරිස්චන්ද්‍ර භූමිය පිහිටි අවට අනුරාධපුර මධ්‍ය විද්‍යාලය, ස්වර්ණපාලි බාලිකා විද්‍යාලය, වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලය පිහිටා තිබෙනවා.

ඉන් විද්‍යාල දෙකක බොහෝ සිසුහු නේවාසිකව සිට විභාගය සඳහා පෙනී සිටිති. මේ සම්බන්ධයෙන් මවුපියන්ගෙන් හා සිසුන්ගෙන් ලද පැමිණිලි මත අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමි, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා, නාගරික කොමසාරිස්වරයා, පොලිසිය ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වුණා.

මින් ඉදිරියට මෙවැනි සැණකෙළිවලට ඉඩ නොදිය යුතු බවත්, එසේ කටයුතු කළහොත් මෙවැනි ප්‍රශ්න මතු නොවන බවත් අටමස්ථානාධිපති  පල්ලේගම හේමරතන හිමියෝ මෙහිදී පැවැසුවා.

සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාවේ මෙවැනි සැණකෙළියක් පැවැත්වීමෙන් මානුෂීය ගැටලුවක් නිර්මාණය වන බවත්, ඒ අනුව මෙම භූමිය වෙනස් කිරීමට නාගරික කොමසාරිස්වරයා පියවර ගත යුතු බවත් උන්වහන්සේ සඳහන් කළා.

නගරයේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යෑමට, සේවක පඩිනඩි හා අතිකාල ගෙවීමට, යන්ත්‍ර සූත්‍ර  නඩත්තු කිරීමට මුදල් සොයා ගැනීමේ අරමුණින් මෙම සැණකෙළිය පවත්වන බවත්, ඒ සඳහා විකල්පයක් ඉදිරිපත් කළ හැකිනම් මෙම සැණකෙළිය නතර කළ හැකි බවත් අනුරාධපුර නගර සභාවේ නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ මෙහීදී පැවැසුවා.

අනුරාධපුර නගර සීමාවේ ජීවත්වන ජනතාව නගර සීමාවේ කැළිකසළ බැහැර නොකරන බවත්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන ජනතාව එවැනි දෑ බැහැර කරන බවත් පැවැසූ නාගරික කොමසාරිස්වරයා නගරයට වියදම් කිරීමට තිබෙන මුදල් එම කසළ ඉවත් කිරීමේදී වැය කිරීමට සිදුවන බව සඳහන් කළා.

අනුරාධපුර නගර සභාව  පුරවර උදානය සැණකෙළියේ වැඩිම වියදමක් දරන බවත්, ඊට අනුග්‍රාහකයන්ගෙන් රුපියල් ලක්ෂ 200ක මුදලක් නගර සභාව ලබාගෙන තිබෙන බවත් පැවැසූ විජේසිංහ මහතා සැණකෙළියට සහභාගි වන සියලුම සංගීත කණ්ඩායම්වලට මුදල් ගෙවා අවසන් බව කියා සිටියා.

වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණය වැනි භූමියක් සහිත වෙනත් ස්ථානයක්  නගර සීමාවේ නොමැති බවත්, සංගීත කණ්ඩායම් සමඟ සාකච්ඡා කර දින වෙනස් කර ගැනීමට උත්සාහ කරන බවද  ඔහු පැවැසුවා.

ඒ අනුව සැණකෙළිය පැවැත්වෙන දිනය ජුනි 06 වැනිදා දක්වා කල්දැමීමට තීරණය කළ බවද නාගරික කොමසාරිස්වරයා කීවා.

පුරවර උදානය සැණකෙළියෙන් සංගීත සන්දර්ශන, මාරක ළිඳ, කතුරු ඔන්චිල්ලාව  ඇතුළු  විනෝදජනක අත්දැකීම් රැසක් ලබාදෙන බව අනුරාධපුරය නගර සභාව පවසයි.

ඒ අනුව 04 වැනිදා සිට 10 වැනිදා දක්වා එක් අයකුගේ ඇතුළුවීමේ ගාස්තුව රුපියල් 300ක් ලෙසත් 11 වැනිදා ඇතුළුවීමේ ගාස්තුව රුපියල් 400ක් ලෙසත් අය කරන බවද එම නගර සභාව සඳහන් කරනවා.