hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 මාර්තු 31, පෙ.ව. 10:46



රජරට විශ්වවිද්‍යාලයට අනුබද්ධ අනුරාධපුර ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකයේ ළමා වාට්ටුවේ එහි සේවයේ නියුතු ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් හතර දෙනා විදේශගත වීම හේතුවෙන් දින නියමයක් නොමැතිව වසා දමා ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

මහාචාර්ය ඒකකයේ ළමා වාට්ටු අංක 63හි සේවය කිරීම සඳහා වෛද්‍යවරුන් නොමැති වීම හේතුවෙන් එය වසා දමා ඇති බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ (වැ.බ.) වෛද්‍ය ඩී.එම්.එස්. සමරවීර ලිපියක් මාර්ගයෙන් රෝහල් කාර්ය මණ්ඩලය දැනුවත් කර තිබෙනවා.

රජයේ අසාධාරණ බදු ප්‍රතිපත්තිය හේතුවෙන් වාට්ටුවේ සේවය කළ වෛද්‍යවරුන් සිවුදෙනා විදේශගතව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය අජන්ත රාජකරුණා මහතා පැවසුවා.

වෘත්තිකයන් රට තුළ රඳවා ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන සැපයීමට රජයට නොහැකි වීම හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇතැයි ද හෙතෙම සඳහන් කළා.

එම ළමා රෝග වාට්ටු අංක 63හි ප්‍රතිකාර කටයුතු නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වාට්ටු අංක 24 හා 25 වෙත යොමු කරන බව ද රෝහලේ වැඩබලන අධ්‍යක්ෂවරයා නිකුත් කළ ලිපියේ සඳහන් කර තිබෙනවා.

මෙහි ප්‍රතිකාර ලබමින් සිටි ළමා රෝගීන් සියලු දෙනා වාට්ටු අංක 24 හා 25 වෙත ද ළමා රෝග සම්බන්ධ සායනයන් සඳහා සතියක් හැර සතියක් ලෙස එහි කාර්ය මණ්ඩලයද අනුයුක්ත කරන බව ද එහි වැඩිදුරටත් දක්වා තිබෙනවා.