hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2023 මැයි 29, පෙ.ව. 3:32



එළඹෙන පොසොන් පොහොය නිමිත්තෙන් ජූනි මස 4 වනදා සිට 11 වෙනිදා දක්වා පුරවර උදානය නමින් සංගීත ප්‍රසංග සහිත විනෝද සැණකෙළියක් අනුරාධපුර හරිස්චන්ද්‍ර උද්‍යානයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

එය සංවිධාන කරන්නේ අනුරාධපුර නගර සභාව මගින්.

හරිස්චන්ද්‍ර උද්‍යානය පිහිටා ඇත්තේ විභාග මධ්‍යස්ථාන ලෙස ක්‍රියාත්මක වන වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලය, ස්වර්ණපාලි බාලිකා මහා විද්‍යාලය සහ අනුරාධපුර මධ්‍ය විද්‍යාලයට ඉතා ආසන්නයේයි.

ඒ අතරින් විද්‍යාල දෙකකම සිසු නේවාසිකාගාර ද පවතින අතර, සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසුන් ඒවායේ නේවාසිකවද සිටිනවා.

මෙවන් පසුබිමක මෙම සැණකෙළිය පිළිබඳව අනුරාධපුර පොසොන් කමිටුවේ දී ද සාකච්ඡාවට ගැනුණා.

අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි : “පොසොන් උත්සවය, සංදර්ශනයක් බවට පත්කර නොගත යුතුයි කියන එක. දැන් අවුරුදු හතළිහක විතර ඉඳලා හිටපු ප්‍රතිපත්තිය, මම අදටත් ඒ ප්‍රතිපත්තියේ ඉන්නවා. අපට කියන්න බෑ අපි ඉස්කෝල ටික පැත්තකට දාලා, අපිට මේකට ඉඩ තියෙනවයි කියලා කියන්නත් බෑ.”

අනුරාධපුර නගර සභා කොමසාරිස් රුවන් විජේසිංහ මහතා : “සියලුම රාජ්‍ය ආයතන ගත්තහම වැඩිපුර වියදමක් දරන්නේ අපි. එතකොට ඒකට මුදල් හොයාගන්නේ කොහොමද? සේවකයන්ගේ වැටුප් ගෙවන්නේ, අතිකාල ගෙවන්නේ, යන්ත්‍ර සූත්‍ර ඒ සියලු දේවල්. ඉතින් මේකට මට විකල්පයක් මට මේක නවත්තලා දාන්න පුළුවන්.”

අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි : “නාගරික කොමසාරිස්තුමාට අපහසුවෙන් හරි ඉඩක් නැද්ද? භූමිය වෙනස් කරන්න. ඔය ඉස්කෝල මැද්දට නැතුව.

අනුරාධපුර නගර සභා කොමසාරිස් රුවන් විජේසිංහ මහතා : “ඔය වාගේ ඉඩක් තියෙන ඒකේ උපාංග සවි කරන්න පුළුවන් ඔය වගේ අක්කර ගානක් තියෙන වෙන ඉඩමක් නැහැ. ශබ්ද විකාශන යන්ත්‍ර නැතුව සංගීත ප්‍රසංගයක් පවත්වන්න බෑනේ. සාමාන්‍ය පෙළ දරුවන්ගේ විභාගය මගේ දරුවා පුද්ගලිකව විභාගේ ලියනවා. මට මගේ දරුවට මං ඒක අවශ්‍ය පැහැදිලි කිරීම් දීලා. එතකොට අනිත් දරුවෝ දෙමව්පියන්ටත් අපි විකල්ප ටිකක් දුන්නා. ඒ ඉන්න දරුවන්ට වෙනත් ස්ථානවල නවතිනවා නම්, අනුරාධපුර මහ නගර සභාවේ තියෙන සියලු වියදම් අපිට දරන්න අපි යෝජනා කරනවා.”

අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි : “කාලය එහාට දාගන්නත් අමාරුයිද?”

අනුරාධපුර නගර සභා කොමසාරිස් රුවන් විජේසිංහ මහතා : “6 වෙනිදා වෙනකොට සාමාන්‍ය පෙළ විභාගය ඉවරයි. අට වෙනිදත් තියෙන්නේ මන් හිතන්නේ වෛකල්පිත විෂයක්. මම මේ සංගීත කණ්ඩායම් එක්ක කතා කරලා පුළුවන් තරම් උත්සාහ කරන්නම් පිටිපස්සට දවස් කිහිපයක් දාගන්න.”

කෙසේ වෙතත් මේ පිළිබඳව තවත් පාර්ශව රැසක් විරෝධය පළ කරනවා.

ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මෙසේ අදහස් දක්වා සිටියා,

“පුරවර උදානය වැඩසටහන තියෙන සීමාව තුළ විභාග මධ්‍යස්ථාන 22ක දරුවෝ තුන්දහස් අටසීයකට වැඩි ප්‍රමාණයක් පෙනී ඉන්නවා. අනිත් පැත්තෙන් මේ විභාගය කාලය තුළ පාසල් තුළ නේවාසිකව රැඳී සිටින ශිෂ්‍යයන්ටත් මේක බාධාවක්. සාමාන්‍ය විෂයක්, නැත්නම් පොදු විෂයක් එහෙම කියලා විශේෂ විෂයක් කියලා වර්ගීකරණය කරන්න බැහැ. ළමයින්ට සාමාන්‍ය පෙළ විභාගයේ විෂයන් 9ම ඉතාමත්ම වැදගත්.”