hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 08, ප.ව. 2:28



රටේ බරපතළ අර්බුදයක් පවතිද්දී අනුරාධපුර, පදවිය ප්‍රදේශයේ දින 10ක් තිස්සේ විනෝද සැණකෙළියක් පැවැත්වීමට කටයුතු කරමින් සිටීම පිළිබඳ පදවිය වැසියෝ විරෝධය පළ කරනවා.

දින 10ක සැණකෙළිය සඳහා දැනටමත් තොරණ පහක් ඉදි කෙරෙමින් පවතින බවත් සැණකෙළි සංවිධායකවරුන් පදවියට පැමිණෙන්නේ හෙලිකොප්ටර් වල බවත් පෙන්වා දෙන පදවි වැසියෝ ඉන්ධන, විදුලිය, ගෑස් ඇතුළු අර්බුද රැසක් මැද ජනතාව බලවත් පීඩාවට පත්ව හිඳින සමයේ මෙසේ සැණකෙළි පැවැත්වීම අපරාධයක් බවත් පෙන්වා දෙනවා.

අනුරාධපුර නගරයේ පිට පිහිටි පෞද්ගලික සමාගමක් මගින් පදවිය පරාක්‍රම මහජන ක්‍රීඩාංගනයේදී මෙම මස 14 සිට 24 දක්වා දින 10ක් තිස්සේ දිවයිනේ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායම් ගෙන්වා සංගීත සංදර්ශන සමඟ විනෝද සැණකෙළිය පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා වන තොරණ 5ක්ද ඉදිකරමින් පවතිනවා.

මෙම විනෝද සැණකෙළි භූමියට ඇතුලුවීමට එක් අයෙකුට රුපියල් 200 ක පමණ මුදලක් අය කරන බවත් එහි සඳහන් වෙනවා.

රටේ දැඩි විදුලි අර්බුදයක් පවතින අවස්ථාවක දින දහයක් අඛණ්ඩව පැවැත්වෙන මෙම විනෝද සැණකෙළියට සහ තොරණ පහ සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විදුලි බලය සපයන්නේද යන්න විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරන පදවියේ ගොවි ජනතාව ලංකා විදුලිබල මණ්ඩලයෙන් විදුලිය සැපයුම ලබා නොගෙන විදුලි ජනන යන්ත්‍ර මඟින් සැණකෙළිය සහ තොරණ සඳහා විදුලි උපයා ගන්නේ නම් එම විදුලි ජනන යන්ත්‍ර ක්‍රියා කරවීම සඳහා සංවිධායකයින් ඉන්ධන සපයා ගන්නේ කෙසේද යන්නත් එලෙස අවශ්‍ය ඉන්ධන සපයන්නේ කවුරුන්ද යන්න පිලිබඳවත් ප්‍රශ්න කරනවා.

මෙරට මගී ප්‍රවාහන සේවා පවා මුළුමනින්ම අඩාළව පවතිද්දි රෝහල්වල රෝගීන් ප්‍රවාහනය කිරීමට පවා ඉන්ධන අවම තත්ත්වයක පවතින අවස්ථාවක මෙම සැණකෙළියට පැමිණෙන ජනතාවට බස් විශාල සංඛ්‍යාවක් මගින් දින 10ක් රාත්‍රී කාලයේ ප්‍රවාහන පහසුකම් සලසන බවට දැනටමත් සංවිධායකයන් ජනතාව දැනුවත් කර තිබෙනවා.

එලෙස බස්රථ යොදවන්නේ නම් එම බස්‍ රථ සඳහා ඉන්ධන සපයන්නේ කවුරුන්ද යන්න ප්‍රශ්න කරන ජනතාව ජීවනෝපාය වෙන ගොවිතැන පවා අහිමිව ඇති අවස්ථාවක ජීවත් වීමට පවා නොහැකි තත්ත්වයක සිටින තමන්ට මේ මොහොතේ අවශ්‍ය වන්නේ විනෝද සැණකෙළි නොවන බව අවධාරණය කරයි.

මේ සම්බන්ධයෙන් දුරකථනයෙන් කළ විමසුමකදී කැබිතිගොල්ලෑව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටි මහතා කියා සිටියේ මෙවැනි සැණකෙළි වලට තමන් පෞද්ගලිකව විරුද්ධ බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තමන්ගේ විශේෂ අවධානය යොමු කර සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බවද ඒ මහතා සඳහන් කළා.

පසුව පදවිය කලාපය භාර සහකාර පොලිස් අධිකාරී ධර්මදාස මහතාගෙන් කළ විමසීමේදී ඔහු සඳහන් කළේ බොහෝ දුරට එම සැණකෙළියට අවසරය ලබා නොදෙන ස්ථාවරයක තමන් සිටින බවයි.