hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 අගෝස්‍තු 02, පෙ.ව. 10:42



ගාලු මුවදොර අරගලයේ ආරම්භයේ සිටම අරගලකරුවන්ට කොළඹ තරු හෝටලයකින් දිනපතා ආහාර ලබා දී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලීසිය පවසනවා.

අදාල හෝටලයෙන් අරගලකරුවන්ට දිනකට ආහාර පාර්සල් 500- 600  ලැබී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ද වාර්තා වනවා.

ආහාර පාර්සල් අරගලය ආරම්භයේ සිට මෑතක් වන තුරු ලබාදී ඇති බව සඳහන්.

මෙම ආහාර පාර්සල් නොමිලේ ලබා දුන්නේ ද නැතහොත් කිසියම් සංවිධානයක් විසින් ඇනවුම් කර මේවා ලබා දුන්නේද යන්න හෙළිකර ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් ආරංචි මාර්ග කියා සිටියා.

පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිටි අරගලකරුවෙකුගෙන් ප්‍රශ්න කිරීමකදි මේ බව හෙළි කරගත් බව එම ආරංචි මාර්ග සඳහන් කළා.

මේ අතර රටේ මූලික නීතියට යටත්ව කෙරෙන උද්ඝෝෂණවලට ඉඩ ඇතත් උද්ඝෝෂණ මුවාවෙන් කෙරෙන සියලුම නීතිවිරෝධී කටයුතුවලදී මින් ඉදිරියට උපරිම බලය භාවිත කරන බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා රජයේ පාර්ලිමේන්තු කණ්ඩායම අමතා ප්‍රකාශ කර ති‌‌‌බෙනවා.

දැනට ක්‍රියාත්මක කෙරෙන හදිසි නීතිය ගැන කරුණු පැහැදිලි කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රජයේ පාර්ලිමේන්තු කණ්ඩායම පසුගිය සඳුදා කැඳවා තිබුණා.

එහිදී විශේෂ දේශනයන් පැවැත්වූ කමල් ගුණරත්න මහතා පවසා ඇත්තේ තමන් සහ ආරක්ෂක අංශ පවත්නා තත්ත්වය මාස තුනක් තිස්සේ ඉවසා සිටි බවි.

නීති විරෝධී ක්‍රියා කරන්නන් ඉදිරියේදී හමුදාව මෙතෙක් ඉවසා සිටීම නිවටකමක් ලෙස ඇතැමුන් සිතන බව පවසා ඇති හෙතෙම රාජ්‍ය දේපළවලට හෝ රජයේ මර්මස්ථානවලට හානි කරන්නට මින් ඉදිරියට යමකු උත්සාහ කළහොත් හදිසි නීති රෙගුලාසි අනුව උපරිම බලය යොදවන බව වැඩිදුරටත් සඳහන් කර ති‌බෙනවා.