hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 05, පෙ.ව. 9:49



ගාලුමුවදොර පිටිය හා ඊට ආසන්න ප්‍රදේශවල රැඳී සිටින සියලු දෙනාටම අද (05) සවස 5.00ට පෙර අනවසර ඉදි කිරීම් ඉවත් කර ගන්නා ලෙස කොටුව පොලිස් ස්ථානාධිපති කළ විශේෂ දැනුම් දීමත් සමඟ අරගල භූමියේ රැඳී සිටි ඇතැම් පිරිස් කූඩාරම් ඇතුළු ඉදි කිරීම් රැසක් පෙරේදා (03) රාත්‍රියේ සිට ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

අද (05) සවස 5.00ට පෙර එම කූඩාරම් සහ ඉදි කිරීම් ඉවත් කිරීමට පියවර නොගතහොත් එම භූමිය අයත් නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඒවා ඉවත් කිරීමට පියවර ගනු ඇති බවත් ඊට පොලිසිය ආරක්ෂාව දෙන බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.

කූඩාරම්, කැනපි, අට්ටාල වැනි තාවකාලික ඉදි කිරීම් 200ක් පමණ මේ වන විට අරගල භූමියේ ඇති බව නිරීක්ෂණය කර ඇතැයි ද එම නිලධාරියා වැඩිදුරටත් පැවසුවා.

මේ අතර ගාලුමුවදොර අරගල භූමියේ රැඳී සිටි අරගලකරුවන්ට මේ දක්වා ප්‍රථමාධාර දීම කළ සාන්ත ජෝන් ගිලන් රථ සේවයේ කාර්ය මණ්ඩලයද ඊයේ (04) දහවල් එම භූමියෙන් ඉවත් වී ගියා.

එහි රැඳී සිටි අරගලකරුවන්ට ඉන් ඉවත් වන ලෙස පොලිසිය අරගලකරුවන්ට කළ දැනුම් දීමට අනුව ඔවුන් ඉන් ඉවත්ව යන බව කළ විමසීම්වල පිළිතුරු දෙමින් ඔවුන් කියා සිටියා.

කූඩාරම් ගලවා ඉවත් කළ ද රට නැවත තිබූ තත්ත්වයට ගෙන ඒමේ අරගලය නවතා දමන්නේ නැති බවත් ඔවුහු කියා සිටියා..

එහිදී තවත් පිරිසක් තවදුරටත් අරගලයේ යෙදී සිටීමට තීරණය කර තිබූ අතර අරගලයේ අභිලාෂයන් ඉටු වනතුරු තම සටන අත්නොහරින බව ඔවුන් ප්‍රකාශ කර සිටියා.

අරගල භූමියේ කුඩාරම් සහ ඒ ආශ්‍රිතව වගා කටයුතු ද කිරීමට අරගලකරුවන් පියවර ගෙන තිබූ අතර පොලිසිය විසින් ශබ්දවාහිනී යන්ත්‍ර උපයෝගී කර ගනිමින් ඒ සියල්ල ඉවත් කර ගන්නා ලෙසට අරගලකරුවන්ට දැනුම් දී තිබෙනවා.

මේ අතර ගාලු මුවදොර අරගල භූමියේ ඇති තාවකාලික ඉදිකිරීම් සහ පුද්ගලයින් ඉවත් කිරීමට ගෙන ඇති තීරණයට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සම් තුනක් ඉදිරිපත් කර තිබෙනවා.

පොලිසිය ගෙන ඇති එම තීරණය අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අගතියට පත් පුද්ගලයින් තිදෙනෙකු විසින් මෙම පෙත්සම් ගොනු කරනු ලැබ තිබෙනවා.