hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 අගෝස්‍තු 08, ප.ව. 2:32



ගාලුමුවදොර පිටිය හා ඊට ආසන්න ප්‍රදේශවල රැඳී සිටින සියලු දෙනාටම පසුගිය 05 වනදා සවස 5.00ට පෙර අනවසර ඉදි කිරීම් ඉවත් කර ගන්නා ලෙස කොටුව පොලිස් ස්ථානාධිපති කළ විශේෂ දැනුම් දීමත් සමඟ අරගල භූමියේ රැඳී සිටි ඇතැම් පිරිස් කූඩාරම් ඇතුළු ඉදි කිරීම් රැසක් 03 වනදා රාත්‍රියේ සිට ඉවත් කිරීමට පියවර ගත්තා.

මේ අතර ගාලුමුවදොර අරගල භූමියේ රැඳී සිටි අරගලකරුවන්ට මේ දක්වා ප්‍රථමාධාර දීම කළ සාන්ත ජෝන් ගිලන් රථ සේවයේ කාර්ය මණ්ඩලයද 04 වනදා දහවල් එම භූමියෙන් ඉවත් වී ගියා.

එහි රැඳී සිටි අරගලකරුවන්ට ඉන් ඉවත් වන ලෙස පොලිසිය අරගලකරුවන්ට කළ දැනුම් දීමට අනුව ඔවුන් ඉන් ඉවත්ව යන බව කළ විමසීම්වල පිළිතුරු දෙමින් ඔවුන් කියා සිටියා.

කූඩාරම් ගලවා ඉවත් කළ ද රට නැවත තිබූ තත්ත්වයට ගෙන ඒමේ අරගලය නවතා දමන්නේ නැති බවත් ඔවුහු කියා සිටියා.

මේ අතර ගාලු මුවදොර අරගල භූමියේ ඇති තාවකාලික ඉදිකිරීම් සහ පුද්ගලයින් ඉවත් කිරීමට ගෙන ඇති තීරණයට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සම් තුනක් ඉදිරිපත් කර තිබෙනවා.

පොලිසිය ගෙන ඇති එම තීරණය අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අගතියට පත් පුද්ගලයින් තිදෙනෙකු විසින් මෙම පෙත්සම් ගොනු කරනු ලැබ තිබෙනවා.

මේ අතර නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් දෙමින් කියා සිටියේ නිසි නීතිමය ප්‍රතිපාදන අනුගමනය කිරීමකින් තොරව ලබන 10 වනදා තෙක් ගාලුමුවදොර ගෝඨා ගෝ ගම අරගල භුමියේ පවතින අනවසර ඉදි කිරීම් ඉවත් කිරීමෙන් වළකින බවයි.

කෙසේවෙතත් එවැනි වටපිටාවක් තුළ ආරම්භයේ සිට ගෝඨා ගෝ ගම අරගල භුමියේ සිටි කණ්ඩායම් බොහොමයක් මේ වන විට එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව මේ වන විට අරගල භූමියේ ඉතිරිව ඇත්තේ අරගලකරුවන් ඉදි කර ඇති කූඩාරම් 15ක පමණ ප්‍රමාණයක් පමණයි.

ගාලුමුවදොර කැලි කසළ වලින් පිරි ස්ථානයක් බවට පත් වී හමාරයි.

මේ අතර හෙට අරගල භූමියට ජනතාව නොපැමිණියහොත් තමන් ඇතුළු පිරිසද අරගල භූමියෙන් ඉවත් වන බව එහි වස් වාසය කරමින් රැඳී සිටින පූජ්‍ය ධම්ම සුජාත හිමි ඇතුළු පිරිසක් පවසනවා.