hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2022 අගෝස්‍තු 09, ප.ව. 7:29



ගාලු මුවදොර අරගල භූමියට අදට දින 123ක් ගත වෙනවා.

පසුගිය දින ගණනාවක් පුරාවටම එහි තිබූ අට්ටාල ගලවාගෙන අරගලකරුවන් රැසක් ඉන් ඉවත්ව ගියා.

එවන් පසුබිමක ගාලු මුවදොර අරගල භූමියේදී උද්ඝෝෂණයක් පැවැත්වුණා.

එහිදී රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය සඳහන් කළේ අද දිනයේ අරගල භූමියෙන් අරගලකරුවන් ඉවත් වන බවයි.

එහිදී ඇය මෙසේ අදහස් දක්වා සිටියා,

“අපි පාට පක්ෂ රජ කරන්න මෙතනට ආවේ නැහැ. පාට පක්ෂ දිනවන්න මෙතනට ආවේ නැහැ. අපේ එකම අරමුණ මේ රටේ අලුත් සිස්ටම් එකක් හදන්න, හොරු නැති රටක් හදන්න. ඒක කරන්න පුළුවන් නම් ඒ ඔබද ඒ වෙන කවුරු හරිද කියන එක අපිට අදාල වෙන්නේ නැහැ. පුළුවන් නම් කරලා පෙන්වන්න. මේ අරගලය දිනන තුරු නවතින්නේ නැහැ. අද මේ අරගලය ෆිසිකලි ගෝල්ෆේස් එකෙන් සමු ගනීවි. හැබැයි මේ අරගලය ඉතාම සංවිධානාත්මකයි. ආපහු ඔබට විරුද්ධවත් මේ අරගලය නැගිටින්න සූදානමින් ඉන්නවා කියලා හොදට මතක තියා ගන්න. සුද්ද කරන්න මේ රට. පිරිසිදු කරන්න මේ රට. අරගලය අවසන් නැහැ. අරගල භූමියෙන් අපි ඉවත් වෙනවා. “

මේ අතර මර්ධනය වහා නවතනු ජනමතයට ඉඩ දෙනු යන්න තේමා කර ගනිමින් අද දිවයින පුරා දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කර තිබුණා.

එය සංවිධානය කර තිබුණේ වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකමුතුවයි.

ඒ අනුව එහි ප්‍රධාන උද්ඝෝෂණය නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදි පැවැත්වුණා.

විරෝධතාකරුවන් විහාරමහාදේවි උද්‍යානය ඉදිරිපිටට රැස්වී විරෝධතා පා ගමනකින් නිදහස් චතුරශ්‍ර පරිශ්‍රය වෙත පැමිණියා.

එසේම තවත් විරෝධතාවයක් කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදීද පැවැත්වුනා.

රාජ්‍ය මර්දනය නවතනු – හදිසි නීතිය හකුළා ගනු ලෙස නම් කරමින් මර්ධනයට එරෙහිව සමගි ජනබලවේග මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තුව ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත වුණා.

ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්.

මේ අතර වෘත්තිය සමිති හා බහුජන සංවිධාන එකමුතුව පැවැත්වූ තවත් උද්ඝෝෂණ මාලාවක් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ම පැවැත්වුණා.

ඒ අනුරාධපුර, ගාල්ල, හැටන්, කෑගල්ල, මහනුවර, කුලියාපිටිය, පොලොන්නරුව ආදී නගර වලදීයි.

මේ අතර කැලණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් ද අද දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා.

ඒ වත්මන් රජයට විරෝධය පළ කරමින්.