hit counter

2024 මැයි මස 11 වන සෙනසුරාදා

2022 අගෝස්‍තු 18, ප.ව. 12:18



ගෝල්ෆේස් භූමියේ රැඳී සිටිය අරගලකරුවන් නිසා එම ස්ථානයට සිදු වූ හානිය ඔවුන්ගෙන් අයකර ගැනීමට අවශ්‍ය  නීතිමය පියවර ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස ආමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අරගලය පැවැති භූමියට අයිතිවාසිකම් ඇති බව පවසමින් පිරිසක් නඩු පැවැරීමට කටයුතු කර තිබෙන අතර ඒ අනුව මෙම හානිය සම්බන්ධයෙන් සම්පූර්ණ වන්දි මුදල ඔවුන්ගෙන් අය කර ගැනීමට කටයුතු කරන බවත් ආමාත්‍යවරයා සඳහන් කළා.

නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ පැවැති මෙම ස්ථානයෙන් අරගලකරුවන් ඉවත් කරනු ලැබුවේ රටේ පවතින නීතියට අනුව අතර කිසිවකුට රජයේ දේපළක් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට අවසර නොලැබෙන බවත් ඇමැතිවරයා සඳහන් කළා,

මෙලෙස වන්දි මුදල් අය නොකරන්නේ නම් පසුකාලීනව අමාත්‍යාංශයේ නිලධාරීන් ගැටලුවලට මුහුණ දෙන බවත් එවන් අර්බුදයකට ඉහළ නිලධාරීන් පත් කිරීමට තමා කිසි විටක ඉඩ නොතබන බවත් ඔහු පැවසුවා.

ඒ අනුව මේ සිදුවූ හානිය සම්බන්ධයෙන් සම්පූර්ණ තක්සේරුවක් හා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් ඒ සඳහා ගත යුතු නීතිමය පියවර මොනවාද යන්නත් තමා වෙත දන්වා සිටින ලෙස අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවසුවා.