hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2023 මැයි 11, පෙ.ව. 11:41



පසුගිය වසරේ මැයි 9 වැනිදා කොටුව අරලියගහ මන්දිරයට රැස්වූ පිරිසක් ගාලු මුවදොර පිටියේ ස්ථාපිත කර තිබූ ගෝඨාගෝගම අරගල භූමියට කඩා වැදී නිරායුධ අරගලකරුවන්ට සිදු කළ අමානුෂික පහරදීම් අප රටට ජාත්‍යන්තරය තුළ විශාල කළු පැල්ලමක් එක්කළ සිද්ධියක් වන්නේ යැයි නීතිපතිවරයා ඊයේ (10) අභියාචනාධිකරණයට පැවසුවා.

අප රටේ මානව හිමිකම් උල්ලංඝනය වන බවට චෝදනා නගමින් රට අපකීර්තියට පත් කිරීමට මාන බලමින් සිටින පිරිසට එකී කරුණු තහවුරු කිරීමට සාධක එක්කර දෙමින් සිදුවූ එම පහරදීම් කෙරෙහි අවධානය යොමු කළ නීතිපතිවරයා එකී පහරදීම් සිදුකළ පිරිසට හා ඒ සඳහා මගපාදා දුන් පිරිසට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙසට පොලිස්පතිවරයාට උපදෙස් ලබාදුන් බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් ජයවීර මහත්මිය අධිකරණයට වැඩිදුරටත් පැවසුවා.

විමර්ශන අංශ කිසිවෙකුව එකී නඩුවල සැකකරුවකු ලෙස නම් කරනුයේ ඉදිරිපත් වන සාක්‍ෂි මත පදනම්ව වන හෙයින් පෙත්සම්කරු අභියාචනාධිකරණය ගොනු කර ඇති පෙත්සම සම්බන්ධයෙන් තම දෙපාර්තමේන්තුව සති දෙකක් ඇතුළත විරෝධතා ගොනු කිරීමට පියවර ගන්නා බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විනිසුරු මඩුල්ලට පැවසුවා.

ඒ අනුව එකී විරෝධතා ලබන 24 වැනිදා හෝ ඊට පෙරත් ප්‍රතිවිරෝධතා ලබන 31 වැනිදා හෝ ඊට පෙරත් ගොනු කරන ලෙසට දෙපාර්ශවයට අවවාද කළ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න හා එම්. ඒ. ආර්. මරික්කාර් යන මහත්වරු දේශබන්දු මහතාගේ පෙත්සම සම්බන්ධයෙන් විවාදය ලබන මස 5 වැනිදා පැවැත්වීමට දින නියම කළා.

නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් පරිදි නීතීඥ සුගත් කල්දේරා හා නීතිඥ ටිරාන් ඇන්කටෙල් යන මහත්වරුන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජනාධිපති නීතිඥ ආචාර්ය රොමේෂ් ද සිල්වා මහතා පෙත්සම්කාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටියා.