hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ජූලි 08, ප.ව. 10:51



ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු ආණ්ඩුව වහා ඉවත්විය යුතු බවට බල කරමින් හෙට (09) කොළඹදී දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබුණා.

එම අරගලයට සහය දක්වන බවට සමඟි ජන බලවේගය ඇතුළු විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ ගණනාවක් ප්‍රකාශ කළා.

සාමකාමී අරගලයට සමගි ජන බලවේගය පූර්ණ සහයෝගය පළ කරන බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසුවා.

සාමකාමී අරගලකරුවන් ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන සියලු පාර්ශවකරුවන් සමඟ එක්ව මෙම සටන ජයග්‍රහණය කිරීමට කටයුතු කරන බවත් මහ ලේකම්වරයා සඳහන් කළා.

සමගි ජන බලවේගය සියලුම දේශපාලන පක්ෂ වෘත්තිය සමිති බහුජන සංවිධාන මෙම සටනට සහයෝගය ලබාදෙන බවත් ඔහු පැවසුවා.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ද මෙම අරගලයට සහය දෙන බව එහි සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (8) සඳහන් කළා.

ප්‍රජාතන්ත්‍රවාදි රාමුවක් තුළ ප්‍රචණ්ඩත්වයෙන් තොරව එම අරගලය පවත්වන්නේ නම් තම පක්‍ෂය එයට ආශීර්වාද කරන බවත්, මෙම විරෝධතා අතරතුරදී කිසිඳු ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක නිරත නොවන ලෙස අරගලකරුවන්ගෙන් ඉල්ලා සිටින බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළා.

ගාලු මුවදොර අරගලකරුවන් කැඳවා තිබෙන විරෝධතා දිනයට ජාතික ජන බලවේගය දේශපාලන ව්‍යපාරයක් ලෙස සහාය දක්වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ජාතික ජන බලවේගයේ විධායක සභික ටිල්වින් සිල්වා මහතා ද පැවසුවා.

තෙල් හා ගෑස් පෝලිම්වල සැලකිය යුතු පිරිසක් මියගොස් රටම ගිනිගෙන තිබියදීත් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හැඟීම් දැනීම් නැති හිරිවැටුණු නායකයින් සේ ගිණිකෙළි සංදර්ශන බලමින් විනෝද වන බව කී ටිල්වින් සිල්වා මහතා ජනතාවගේ ප්‍රශ්නවලට පාලකයින්ට උත්තර නැති බව පෙනී යන බවද සඳහන් කළා.

43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේ මෙම අරගලයේ දී කිසිවකුත් ප්‍රචණ්ඩකාරී නොවිය යුතු බවයි.

රාජපක්‍ෂවරුන්ගේ ආණ්ඩුවේ ඉලක්කය ලේ වැගිරීමක් හරහා බලය තහවුරු කරගැනීම බැවින් මෙම අරගලයේදී අවිහිංසාවාදීව හා ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන ලෙස සියලු අරගලකරුවන්ගෙන් ඉල්ලා සිටින බවත්, ප්‍රකෝපකාරී වැඩ කරන අය අරගලයේ සතුරන් බවත් රණවක මහතා පැවසුවා.

තමන්ගේ රාජකාරිය නීත්‍යානුකූල වපසරිය තුළ කරන ලෙස ආරක්‍ෂක අංශවලින් ඉල්ලා සිටින බව කී මන්ත්‍රීවරයා මිනිස්සුන්ගේ බඩට පයින් අනින්න, තුවක්කු බලය පෙන්වන්න මේ රටේ ඉඩක නැති බවත් , පීඩාවට පත් පවුල් අතර ඔවුන්ගේ පවුලුත් සිටින බවත් පැවසුවා.

මේ අතර ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ ලේකම් වෛද්‍ය ජී.වීරසිංහ මහතා පැවසුවේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉවත්වී සර්වපාක්‍ෂික අන්තර්කාලීන රජයක් පිහිටුවන ලෙස බලකරමින් ගෙනයන ජනතා අරගලයට හා ඒ වෙනුවෙන් පැවැත්වෙන විරෝධතාවයට ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ සහය ලබාදෙන බවයි.

හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබු අරගලයට සමගාමීව අද අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලට විසින්  සංවිධානය කරන විරෝධතා පා ගමන කැලණිය විශ්ව විදයාලය ඉදිරිපිටින් ආරම්භ කර කළා.

දිවයිනේ විශ්ව විද්‍යාල රැසකට අයත් තරුණ තරුණියන් රැසක් මේ සදහා එක්ව සිටියා.

කෙසේවෙත් අන්තර් විශ්වවිද්‍යාලය ශිෂ්‍යබල මණ්ඩලය ආරම්භ කළ විරෝධතා පාගමනට පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.

අද රාත්‍රී 9 සිට ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස හතකට බලපැවැත්වෙන පරිදි පොලිස්පති සි. ඩී වික්‍රමරත්නගේ නියෝග පරිදි පොලිස් ඇඳිරි නීතිය පැන වුණා.

ඒ අනුව මීගමුව, කැළණිය, නුගේගොඩ, ගල්කිස්ස, කොළඹ උතුර, කොළඹ දකුණ සහ කොළඹ මධ්‍යම යන පොලිස් බල ප්‍රදේශවලට මෙලෙස පොලිස් ඇඳීරි නීතිය බල පැවැත්වෙනවා.

එවන් පසුබිමක මෙලෙස පැනවූ ඇඳිරි නීතිය සමබන්ධයෙන් පාර්ශව කිහිපයක්ම අදහස් දක්වා සිටියා.

පොලිස් ආඥා පනතේ ඇඳිරි නීතිය පැනවීමට ප්‍රතිපාදන නොමැති බවත්, එබැවින් රජය විසින් දැනට ප්‍රකාශයට පත් කර ඇති ඇඳිරි නීතිය ‘නීති විරෝධී සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක්’ බවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය හදිසියේ පැණවූ හදිසි නීතිය සම්බන්ධයෙන් බලවත් අප්‍රසාදය සහ විරෝධතාව ප්‍රකාශ කරන බව මෙම නිවේදනයේ සඳහන්.

පොලිස් ආඥා පනත අනුව මෙලෙස හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමට පොලිස්පතිවරයාට කිසිදු ප්‍රතිපාදනයක් නොමැති අතර එම ඇඳිරි නීතිය පැනවීම නීති විරෝධී සහ මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අදහසයි.

මෙරට සාමාන්‍ය ජනතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ රජයට එරෙහිව විරෝධය ප්‍රකාශ කරනුයේ ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් සහ අවශ්‍යතා සපුරාලීමට රජය අසමත් වී ඇති නිසාවෙන් බවයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ.

එමෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමය පොලිස්පති වරයාගෙන් ප්‍රශ්න කරනුයේ මෙලෙස ඇඳිරි නීතිය පැන වුයේ කුමන ප්‍රතිපාදන සහ බලාධිකාරයක් යටතේද යනුවෙනුයි.

මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්. ඒ සුමන්තිරන් පවසන්නේ මෙරට නීතියට අනුව පොලිස් ඇඳිරි නීතිය කියා දෙයක් නොමැති බවයි.

“මෙය රජයට එරෙහිව විරෝධතා දැක්වීම සඳහා හෙට රැස්වන ජනතාව අධෛර්යමත් කිරීමට කළ නීති විරෝධී නිවේදනයක්. එවැනි නොපවතින පදනමක් මත ගමන් කිරීමේ නිදහස සහ එමගින් සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතිය තහනම් කිරීමට ගන්නා ඕනෑම ක්‍රියාවක් නීති විරෝධී වන අතර එය පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් ප්‍රතික්ෂේප කිරීමකි”. එම ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන්.

මේ අතර ඇඳිරි නීතිය පැනවීම හරහා රජය ජනතා ගැටලුවලට විසඳුම් සොයනවා වෙනුවට මර්දනකාරී පිළිවෙතකට අවතීර්ණ වීමට සූදානම් බව පෙන්නුම් කෙරෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

වත්මන් රජයට තවදුරටත් රට පාලනය කළ නොහැකි බව සහ ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාගේ පාලනය අසාර්ථක පාලනයක් බවට පෙන්නුම් කෙරෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ජනතාවගේ ප්‍රශ්ණවලට විසඳුම් සොයනවා වෙනුවට ඔවුන් මර්දනකාරී පිළිවෙතකට අවතීර්ණ වීමට සූදානම් බව ඇඳිරි නීතිය පැනවීම හරහා පෙන්නුම් කෙරෙන බව අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළා.

මේ අතර අද රාත්‍රියේ සිට බලප්‍රදේශ 7ක පොලිස් ඇදිරි නීතිය පැනවීමට කටයුතු කර තිබුණද එය නොතකා හෙට දිනයේදී ආණ්ඩුව නෙරපා හැරීම සදහා කොළඹට පැමිණෙන ලෙස සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සියලුම ජනාතවට ආරාධනාවක් කළා.

විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා පෙන්වා දුන්නේ අධිකරණයෙන් තහනම් නියෝග ඉල්ලීමට පොලිසිය මීට පෙර කටයුතු කළද අධිකරණය ජනතා අයිතිවාසිකම් පිළිගනිමින් සාමකාමී උද්ඝෝෂණයන්ට අවසර ලබා දී ඇති බවයි.

එවැනි තත්ත්වයක් පැවතියදී පොලිස් ඇදිරි නීතිය පැනවීම පිළිගත නොහැකි බව කී ඒ මහතා එය නොතකා සියලුම දෙනාට කොළඹට පැමිණෙ ලෙසට විවෘත ආරාධනාවක් කළා.

එමෙන්ම පොලිස් ඇඳිරි නීතිය ගැන විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පොලිස් ඇඳිරි නීතිය, සිහිමූර්ඡා වූ ආණ්ඩුවේ තවත් බියගුළු ක්‍රියාවක් පමණක් බවයි.

එම නිවේදනය පහතින්,

මේ රට පත්ව ඇති තත්වය පිළිබඳව අංශුමාත්‍රයක හැඟීමක් හෝ දැනීමක් නැතිව සිහිමූර්ඡා වී සිටින ආණ්ඩුව හිටි ගමන් බස්නාහිර පළාත තුළ පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

මේ බියගුළු නින්දා සහගත ක්‍රියාව වර්තමානයේ රට මුහුණ දී ඇති තත්ත්වය පිළිබඳව යම් පමණක හෝ දැනුමක් ඇති කිසිවෙකුට ගත හැකි තීරණයක් නොවේ.

 මේ වන රටේ ජීවත්වන ජනතාවගෙන් වැඩි කොටසක් සිටින්නේ පෝලිම්වල ය.ඇතැමුන් දින දෙක තුන පෝලිම් වල සිටී.විශේෂයෙන්ම බස්නාහිර පලාත ආශ්‍රිතව ඒ තත්ත්වය අතිශයින් උග්‍ර ය.එලෙස පෝලිම් වල සිටින ජනතාව අතරමං කොට මේ බියගුළු ඇඳිරි නීතිය පනවා තිබේ.

තමන්ට එරෙහිව සුනාමියක් සේ නැග එන ජනතා විරෝධයට බියපත්ව ආණ්ඩුව උන්මත්තක ලීලාවෙන් හැසිරෙන අතර මේ හදිසි ඇඳිරිනීතිය එහි ආසන්නම ප්‍රතිඵලයයි.
තවත් මෙබඳු කඩාකප්පල්කාරී මර්ධනකාරී කටයුතු රැසක් ආණ්ඩුවේ න්‍යාය පත්‍රය තුළ ඇති බවට ද බවටද සැක නැත.
ප්‍රජාතන්ත්‍රවාදී අරගලයන්ට මෙතරම් බිය වුණු ආණ්ඩුවක් ඉතිහාසයේ කිසි දිනක තිබී නැති අතර ආණ්ඩුවේ මෙවන් බියගුළු උත්සාහයන් තුලින් සිදු වන්නේ ජනතාවගේ උද්යෝගය තව තවත් වර්ධනය වීම බව බවද අපි ආණ්ඩුවට අවධාරණය කරමු.

එමෙන්ම,

මේ දුර්දාන්ත ආණ්ඩුව පලවා හැරීමේ අරගලය ආණ්ඩුවේ මෙවැනි ප්‍රාථමික බියගුළු ක්‍රියාවලින් මැඩ පැවැත්විය නොහැකි බවද අපි අවධාරණය කරමු.

සජිත් ප්‍රේමදාස 
විපක්ෂ නායක