hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ජූලි 22, පෙ.ව. 11:55



කොළඹ ගාලුමුවදොර අරගලකරුවන්ට අද (22) අළුයම ආරක්‍ෂක අංශ එල්ල කළ ප්‍රහාරයේදී නීතිඥවරුන්ටත් පහර දුන් බවත් එහිදී තමන්ට ද පිටුපසින් පැමිණි අයෙකු පහර දුන් බවත් නීතිඥ මනෝජ් නානායක්කාර මහතා ඒෂියන් මිරර් වෙත පැවසුවා.

අද පස්වරු 2ට අරගලකරුවන් ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයෙන් ඉවත් වන බවට දැනුම් දී තිබියදී මෙම ප්‍රහාරය එල්ල කළ බවත් ජනාධිපතිවරයා සේම පොලිස්පතිවරයාද ඒ පිළිබඳව දැනුවත්ව සිටි බවත් ඒ මහතා අවධාරණය කළා.

එසේ තිබියදී ආරක්ෂක අංශ අද අළුයම එකවරම අරගලකරුවන්ට පහරදී ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස කටයුතු කළ බවත් පෙන්වා දේ නානායක්කාර මහතා එහිදී තුවාල ලැබූ පිරිසක් රෝහල් ගත කළ බවත් තවත් කිහිප දෙනෙකු අරගල භූමියේ කූඩාරම් වල සිටින බවත් කියා සිටියා.

කෙසේ වෙතත් අරගලය කිසිසේත් නවතා නොදමන බවත් එය දිගටම කරගෙන යන බවත් පැවසූ ඒ මහතා නව ජනාධිපතිවරයාට තව මාස 3ක කාලයක් ලබා දෙන බවත් සඳහන් කළා.

ඒ අනුව මේවන විට උද්ඝෝෂණ කලාපයේ පිහිටි අරගල භූමිය දේශපාලන සරසවියක් ලෙස සකස් කරන බවද ඔහු ප්‍රකාශ කළා.

පොලිසිය සහ හමුදාව ,විශේෂ කාර්ය බළකාය එක්ව ජනාධිපති ලේකම්කාර්යාලය අසල රැඳිසිටි අරගලකරුවන් අද (22) අළුයම එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කළා.

අරගලකරුවන් අත්පත් කරගෙන සිටි ජනාධිපති ලේකම් කාර්යාලය සම්පූර්ණයෙන්ම සිය පාලනයට ගෙන ඇති අතර ගාලු මුවදොර බාලදක්ෂ මාවත දක්වාම වූ භූමි ප්‍රදේශයේ සියලු කූඩාරම් ඉවත් කර එම ප්‍රදේශයේ ද අරගලකරුවන්ගෙන් නිදහස් කරගෙන ගෙන තිබුණා.

එහිදී ඇතිවූ ගැටුමින් නීතිඥවරුන් දෙදෙනකු ඇතුළු ඇතුළු පුද්ගලයන් අට දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පැවසුවා.

ජනාධිපති ලේකම් කාර්යාලය දෙසින් දහසකට ආසන්න භට කණ්ඩායමක් අද අළුයම 1.30 ට පමණ අරගල භූමියට ඇතුළු වී අරගලකරුවන් එම ස්ථානයෙන් පලවා හැර තිබුණා.

මෙහිදී දෙපාර්ශවය අතර උණුසුම් තත්වයක් හටගෙන ඇති අතර එහිදී අරගලකරුවන් පිරිසක් තුවාල ලබා තිබුණා.

ගාලුමෝදරට පිවිසෙන මාර්ග සියල්ලම පිටස්තර පුද්ගලයන්ට ඇතුළුවීමට නොහැකි වන අයුරින් වසා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබූ අතර මේ හේතුව නිසා අරගලකරුවගේ සහයට කිසිවකුටත් ගාලුමෝදර දක්වා ගමන් කිරීමට නොහැකි වූ බවයි වාර්තා වන්නේ.

මෙම ගැටුම් අතරතුර දෙස් විදෙස් මාධ්‍යවේදීන් පිරිසක් ද ප්‍රහාරවලට ලක්ව තුවාල ලබා සිටි අතර මාධ්‍යවේදීන් කිහිප දෙනෙක්ම අත්අඩංගුවට පත්වී ඇතැයි ද වාර්තා වනවා.

කිසිදු දැනුම්දීමක් නොමැතිව පැමිණි හමුදා සහ පොලිස් කණ්ඩායම් අරගලකරුවන්ට පන්න පන්නා පහර දුන් බවට අරගලකරුවන් චෝදනා කළා .