2026 අප්‍රේල් 23, ප.ව. 4:49
ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් විශ්‍රාම ගන්නා සාමාජිකයින් හට නාවික හා සමුද්‍රීය ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර රැකියා අවස්ථා පුළුල් කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ විශේෂ සාකච්ඡාවක් ඊයේ (22) කොළඹ පිහිටි ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.
මෙම හමුව ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු යන මහත්වරුන්ගේ සම සභාපතිත්වයෙන් යුතුව පවත්වන ලදි.
මෙහිදී විශ්‍රාම යන නාවික සාමාජිකයින් සඳහා ජාත්‍යන්තරව පිළිගත් වෘත්තීය සුදුසුකම් ලබා ගැනීම පහසු කිරීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් මීට පෙර පවත්වන ලද සාකච්ඡාවල ප්‍රගතිය අවධානයට ලක් විය. ගෝලීය සමුද්‍රීය කර්මාන්තයට ප්‍රවේශ වීම සඳහා අවශ්‍ය සහතික කිරීමේ අවශ්‍යතාවල පවතින අඩුපාඩු මඟහරවා ගැනීමට ගෙන ඇති පියවර පිළිබඳව ද නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙහිදී සමාලෝචනය කළහ.
ජාත්‍යන්තර සමුද්‍රීය ප්‍රමිතීන්ට අනුකූලව ජාත්‍යන්තරව පිළිගත් නිපුණතා සහතික ලබා ගැනීමට විශ්‍රාම යන සාමාජිකයින්ට හැකි වන පරිදි තිරසාර රාමුවක් සකස් කිරීමේ කටයුතු කඩිනම් කිරීම පිළිබඳව ද මෙහිදී අවධාරණය කෙරිණි. එසේම ශ්‍රී ලංකා නාවික හමුදාව, ආරක්‍ෂක අමාත්‍යාංශය සහ සමුද්‍රීය නියාමන අධිකාරීන් ඇතුළු අදාළ පාර්ශ්වකරුවන් අතර සම්බන්ධීකරණය වඩාත් විධිමත් කිරීම සඳහා ගත යුතු ප්‍රායෝගික ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා විය.
මෙම අවස්ථාවට නාවික හමුදාධිපති, වෙළඳ නාවික අධ්‍යක්‍ෂ ජනරාල් සහ අතිරේක ලේකම් (සිවිල් ආරක්‍ෂක හා සංවර්ධන) මෙන්ම ආරක්‍ෂක අමාත්‍යාංශයේ, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.
2026 අප්‍රේල් 23, පෙ.ව. 11:37
2026 අප්‍රේල් 23, පෙ.ව. 11:33
2026 අප්‍රේල් 23, පෙ.ව. 11:04
2026 අප්‍රේල් 23, පෙ.ව. 10:24
2026 අප්‍රේල් 23, පෙ.ව. 10:22