hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 අගෝස්‍තු 05, පෙ.ව. 7:11



අරුවක්කාළු ඝන අප ද්‍රව්‍ය කළමණාකරන ව්‍යාපෘතියේ කොන්ත්‍රාත් කටයුතු විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් බැහැරව සිදු කිරීම හේතුවෙන් ලෝක බැංකුවෙන් ලැබීමට තිබූ ඩොලර් ලක්ෂ 07 ක මුදලක් නොලැබී ඇති බව රජයේ විගනන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති වාර්තාවක සදහන් වනවා.

අරුවක්කාළු ප්‍රදේශයේ ඇති හුණු ගල් වැඩ බිමක් තුළ ඝන අපද්‍රව්‍ය කළමණාකරණ ව්‍යපෘතිය ආරම්භ කර පවත්වා ගෙන යාමට නාගරික සංවර්ධන අමාත්‍යාංශය කටයුතු කර තිබුණා.

මෙම ව්‍යාපෘතිය සඳහා අක්කර186 ක භූමියක් තෝරා ගෙන තිබූ අතර වැය කිරීමට යෝජිතව ඇස්තමේන්තු ගත කර තිබූ මුළු මුදල රුපියල් බිලියන 29 ක්. ඉන් ඩොලර් ලක්ෂ 07 ක මුදලක් ලෝක බැංකු ආධාර යටතේ ලැබීමට නියමිතව තිබූ අතර, ඉතිරි මුදල දේශීය අරමුල් වලින් යෙදවීමට යෝජනා වී තිබුණා.

2018 ජනවාරි මස 01 වැනිදා ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය 2019 ජුනි මස 30 වැනිදා අවසන් වීමට නියමිතව තිබුණා.

කොළඹ හා තදාසන්න ප්‍රදේශ වල එකතු වන කැළි කසල කැළණිය – වනවාසල දක්වා ගෙන ඒමටත් අනතුරුව එම ස්ථානයේ ස්ථාපනය කරන කසල හුවමාරු මධ්‍යස්ථානයක් හරහා දුම්රිය ගැල් මගින් අරුවක්කාළු දක්වා කසල ප්‍රවාහනය කිරීමටත් යෝජනා වී තිබුණා.

නමුත් කසල හුවමාරු මධ්‍යස්ථානය, දුම්රිය මාර්ගය සහ කසල රදවන ස්ථානයේ කටයුතු සඳහා කොන්ත්‍රාත් පිරිනැමීමේදී රජයේ සහ ලෝක බැංකු ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව සිදු කර ඇති බව ලෝක බැංකු සමාලෝචන කණ්ඩායමක් විසින් නිරීක්ෂණ ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව මෙම කසල ව්‍යාපෘතිය සදහා ලැබීමට තිබූ ඩොලක් ලක්ෂ 07 ක මුදල නොගෙවීමට ලෝක බැංකුව කටයුතු කර ඇති බවද රජයේ විගණන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන්.

එමෙන්ම කසල ප්‍රවාහනය කිරීම සදහා දුම්රිය ගැල් (වැගන්) 94 ක් 2020 වසර අවසන් වන විට ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වා ගැනීමට නියමිතව තිබූ බව වාර්තා වනවා. එසේ ගෙන්වන දුම්රිය ගැල් ගාල් කිරීමට සුදුසු ස්ථානයක් නියමිත කාලයට පෙර සකස් කර නොමැති බව හෙළි වී තිබෙනවා. එම හේතුව නිසා අදාල දුම්රිය ගැල් ගෙන්වීමද සිදු කර නොමැති බවයි වාර්තා වන්නේ.

නමුත් රුපියල් 8,271,224 ක මුදලක් වැය කරමින් දුම්රිය ඇන්ජින් කට්ටල 04 ක් මෙරටට ගෙන්වා ඇති බවද විගණන දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

මේ වන විට අරුවක්කාළු කසල රදවනයේ කටයුතු සම්පූර්ණයෙන්ම අතර මග නතර කර ඇති අතර, එහි ප්‍රගතිය 79% ක් බවද විගණන දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් අවසන් කර ඇති වැඩ කටයුතු සඳහා දේශීය අරමුදලින් රුපියල් මිලියන 16,186 ක මුදලක් වැය කර ඇති බවද රජයේ විගනන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති එම වාර්තාවේ වැඩිදුරටත් සදහන්.

පුත්තලම – ජුඩ් සමන්ත