hit counter

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා

2022 ජූලි 29, පෙ.ව. 12:16



යුද්ධයෙන් ලබා ගත නොහැකි වූ ඊළම රට අස්ථාවර කිරීම ඔස්සේ දිනා ගැනීමට දෙමළ ඩයස්පෝරාව උත්සහ කරන බවත් අරගලයට සම්බන්ධවී ඔවුන් එම ක්‍රියාවලිය අඛණ්ඩව සිද්ධ කරමින් සිටින බවත් එක්සත් රණවිරු ප්‍රජාවේ කැඳවුම්කරු අසේල ධර්මසිරි මහතා පවසයි.

තිස් වසරක යුද්ධය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් සමරන දිනයේ තහනම් සංවිධානයක් වන එල්.ටී.ටී.ඊය වෙනුවෙන් පියතුමෙක් හා දමිළ තරුණයින් පිරිසක් ගාලු මුවදොරදී සැමරුම් උත්සවයක් පවත්වා තිබෙන බවද ඒ මහතා සඳහන් කළා.

මහනුවරදී ඊයේ (28) මාධ්‍ය හමුවක් පවත්වමින් ධර්මසිරි මහතා මේ බව ප්‍රකාශ කළා.

ප්‍රභාකරන් සමඟ එදා ඊළම ලබා ගැනීම සඳහා එක්වූ පියතුමන්ලා අරගල භූමියේ දක්නට ලැබුණු බවත් ඊට අදාළ ඡායාරූප පවා තිබෙන බවත් හෙතෙම අවධාරණය කළේ.

කොටි ඩයස්පෝරාව අරගලයේ ඉදිරියෙන්ම සිටින බවත් එහි සාමාජිකයෙකු පසුගියදා ප්‍රසිද්ධියේ මේ බව ප්‍රකාශ කර තිබූ බවත් ඒ මහතා සඳහන් කළා.

අද හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට රටින් රටට පනින්නට සිදුව තිබෙන්නේ අපේ වැඩපිළිවෙළේ ප්‍රතිපලයක් ලෙස බව දෙමළ ඩයස්පෝරාව ප්‍රකාශ කරත්දීත් අරගලයට සහය දීමට භික්ෂූන් වහන්සේලා ඉදිරිපත් වීම කනගාටුවට කරුණක් බවද එක්සත් රණවිරු ප්‍රජාවේ කැඳවුම්කරු ප්‍රකාශ කළා.

වසර 32 ක් පැවැති කුරිරු යුද්ධයේදී රණවිරුවන් 27000 ක් මරණයට පත්වූ බවත් තුවාල ලත් 64500 දෙනෙකු අතරින් 14500 දෙනෙකු සාදාකාලික ආබාධිතයින් බවට පත්ව තිබෙන බවත් කී ඒ මහතා ඔවුන් එදා තමන්ගේ ජීවිත පරදුවට තබා සටන් කළේ මේ ආකාරයට අරගල මගින් ඊළම ලබා ගැනීම සඳහා දෙමළ ඩයස් පෝරාවට පසුබිම සකස් කරන්නට නොවන බවද ධර්මසිරි මහතා පැවසුවා.

අරගලයට මුවා වී රට අස්ථාවර කිරීමට උත්සහ කළ කැරලිකරුවන් සියලු දෙනා අත්අඩංගුවට ගත යුතු බවත් ජනපති ලේකම් කාර්යාලයට රිංගා ගංජා, කුඩු ගැසූ පුද්ගලයින් සමඟ අන්තරේ අයද පුනරුත්ථාපනය කළ යුතු බවත් හෙතෙම පැවසුවා.

ත්‍රස්තවාදය පරාජය කිරීමේ සටනේදී යුද හමුදාවට නායකත්වය දුන් සරත් ෆොන්සේකා මහතා එළඹෙන අගෝස්තු 09 වැනිදාත් අරගල කරන්නට තරුණයින්ට ආරාධනා කරන බවත් රනිල් වික්‍රමසිංහ ජනපතිවරයාත් පන්නා දමා ඊළඟට ඔවුන් ගෙන එන්නට උත්සහ කරන්නේ කාවද යන ප්‍රශ්නය පැන නගින බවත් ඒ මහතා සඳහන් කළා.