hit counter

2026 සැප්‍තැම්‍බර් මස 21 වන සඳුදා

2026 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 12:16



තමන් බුදුදහමේ මූලික හර පද්ධතීන් ජීවිතයට එක් කරගත් සැබෑ ප්‍රායෝගික බෞද්ධයන් බවත්, ඒ සමඟම මාක්ස්-ලෙනින්වාදී මතවාදය ප්‍රසිද්ධියේ පිළිගැනීමට කිසිසේත් නොපැකිලෙන බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා ප්‍රකාශ කරයි.

ජනහමුවක් අමතමින් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා සඳහන් කළේ, තමන් පිටතින් ආගම තවරාගත් බෞද්ධයන් නොවන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා මෙසේද පැවසීය.

“අපි ප්‍රායෝගික බෞද්ධයෝ. ඇත්ත බුද්ධ දර්ශනයේ තියෙන හර පද්ධතීන් අපේ ජීවිතවලට එකතු කරගත්තු මිනිස්සු මිසක් ආගම තවරාගත්තු බෞද්ධයෝ නෙවෙයි. ඒ වගේම ‘අපි මාක්ස්වාදීන්ද?’ කියලා ඇහුවොත්, ඔව් අපි මාක්ස්වාදීන්. ඒක ප්‍රකාශ කරන්න අපි කිසිසේත්ම පැකිලෙන්නේ නැහැ. අපි මාක්ස්වාදීන් පමණක් නෙවෙයි, මාක්ස්-ලෙනින්වාදීන්.

එපමණක් නොව, 20 වැනි සියවසේ විසූ ශ්‍රේෂ්ඨ දේශපාලන චින්තකයන් වන චීනයේ මාඕ සේතුං, වියට්නාමයේ හෝචිමින් මෙන්ම කියුබාවේ ෆිදෙල් කැස්ත්‍රෝ වැනි විප්ලවීය නායකයන්ගේ, දාර්ශනිකයන්ගේ සහ ආර්ථික විද්වතුන්ගේ දර්ශනයන්ගෙන් අපි ආභාසය ලබා තිබෙනවා. එමෙන්ම ඉන්දියාවේ හිටපු ශ්‍රේෂ්ඨ ජනාධිපතිවරයෙකු වූ ආචාර්ය ඒ.පී.ජේ. අබ්දුල් කලාම්ගේ ජීවන ආදර්ශයන් මෙන්ම, මෙරට විසූ ආනන්ද කුමාරස්වාමි වැනි ශ්‍රේෂ්ඨ බුද්ධිමතුන්ගේ උසස් ගුණාංග ද අපගේ දේශපාලන ව්‍යාපාරයට මෙන්ම ජීවිතවලට ද එකතු කරගනිමින් කටයුතු කරන පිරිසක්.”

මාක්ස්වාදීන් යනු ලෝකයේ වඩාත්ම නිර්මාණශීලී මිනිසුන් බවත්, මෙම ලෝකය වඩාත් යහපත් හා සුන්දර තැනක් බවට පත් කිරීම වෙනුවෙන් නිරන්තරයෙන් වෙහෙසෙන පිරිසක් බවත් අසිත නිරෝෂණ මහතා එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: