hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 09, පෙ.ව. 9:28



අප්‍රේල් මස ආරම්භ වූ ජන අරගලය 9 වැනිදා 3ක් ගත වෙද්දී රටේ බරපතළ දේශපාලන වෙනස්කම් රැසක් සිදුකොට තිබෙනවා.

මැයි 9 අගමැති මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයට සමු දුන්නා.

ජුනි 9 බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට සමු දුන්නා.

ජුලි 9 ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති ධූරයට සමු දී ලංකාවෙන් පිටව ගියා.

අද අගෝස්තු 9 වනදා.

නැවතත් විරෝධතා පැවැත්වීම පිළිබඳව විවිධ යෝජනා පසුගිය දිනවල පළ වුණා.

“ජාතික විරෝධතාව” යන තේමාව යටතේ සංවිධාන කෙරෙන මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය අනුරාධපුර දඹුල්ල හුංගම, කටුබැද්ද කන්තලේ බලංගොඩ කෑගල්ල පිළියන්දල මහියංගනය කැකිරාව කලවාන පේරාදෙණිය, මාරවිල තිරප්ප්නේ ,මැදවච්චිය සෙවණගල, වැල්ලවාය ,මාතලේ, හොරණ, මහරගම  ඇතුළු ප්‍රධාන නගර රැසක පැවැත්වෙනවා.

උද්ඝෝෂණ ව්‍යාපාරයට අමතරව පෙළපාළි හා රැස්වීම්ද සංවිධාන කෙරෙන බව ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය පවසයි.

රටේ ආර්ථික ප්‍රශ්න විසඳන ලෙස බල කිරීමද මෙම උද්ඝෝෂණවල තවත් ප්‍රධාන අරමුණක්.

මේ උද්ඝෝෂණ ව්‍යාපාරය සඳහා එක්වන ලෙස දැනුම් දෙමින් සමිති සංවිධාන ගණනාවක් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය සතිය පුරා පුළුල් ප්‍රචාරක ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරනුද  දැකගත හැකි වුණා.

උද්ඝෝෂණ ව්‍යාපාරය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා පෝස්ටර් ව්‍යාපාරයක්ද රට පුරා ක්‍රියාත්මක කරනු ලැබුවා.

මේ අතර මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය හේතුවෙන් රටපුරා ආරක්ෂක විධිවිධාන අද (09) දින දැඩි කෙරෙන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

පොලිසිය නිලධාරීන්ට අමතරව ත්‍රිවිධ හමුදා නිලධාරීහුද රටේ ආරක්ෂාව වෙනුවෙන් අද දිනයේ කැදවෙනවා.

මේ අතර බහුජන සංවිධාන හා දේශපාලන පක්ෂ එක්ව අද දිනයේ විහාරමහා දේවි උද්‍යානයේ පැවැත්වීමට නියමිත විරෝධතාවය තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ ප්‍රතිකේෂ්ප කළා.

කුරුදුවත්ත පොලීසිය විසින් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා මෙම නියෝගය නිකුත් කළා.

මෙම විරෝධතා වලදී යම් සාමය කඩවීමක් හෝ දේපළ වලට හානි වීමක් සිදුවුවහොත් ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට බලය තිබෙන බවත් මහේස්ත්‍රාත්වරයා අවධාරණය කර සිටියා.

මේ අතර තවමත් ක්‍රියාත්මක ගාලුමුවදොර අරගල භූමිය දරන්නේ මෙවැනි මතයක්.

පූජ්‍ය ධම්ම සුජාත හිමි මෙසේ අදහස් දක්වා සිටියා,

“අදින් මේ අරගලය ඉවර වෙන්නේ නැහැ. නමුත් මේ භූමියේ අපි මේ වෙනකන් සිදු කරගෙන ආව අරගලය ප්‍රතිඵලයක් නැත්තම් අපි මේක 9 වෙනිදා නතර කරනවා. ආරධනා කර සිටිනවා සියලුම ශ්‍රීලාංකික පුරවැසියන්ගෙන් ඔබ ඇත්තටම නිර්පාක්ෂිකයි නම් පවතින දූෂිත දේශපාලන ක්‍රමය වෙනස් කරන්න අවශ්‍ය නම් මේ ඉන්න හොරු රැල මේ ඉන්න 225ම පාර්ලිමේන්තුවෙන් පන්නලා අලුත් ක්‍රමවේදයකට මේ රට ගෙනියන්න අවශ්‍ය නම් ඔබ අද පැමිණිය යුත්තේ ගෝල්ෆේස් අරගල භූමියට. මේ අරගල භූමියේ ඉදන් අපි නිහඬ පා ගමනකින් පාර්ලිමේන්තුව ළගට යනවා.”