hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 31, ප.ව. 2:34



ගෑස් හා ඩීසල් මිල දරා ගත නොහැකි තත්වයකට පත් වීමත් පිටි මිල ඉහල යාමත් නිසා බේකරි කර්මාන්තය සම්පූර්ණයෙන්ම අඩාල වී ඇතැයි පාතහේවාහැට බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

මේ අතර බේකරි රැකියාවේ නිරත සේවකයින්ගේ රැකියා අවධානමක පවතින බවත් දැනට ඔවුන් සේවා මුර ක්‍රමය යටතේ රැකියාවට කැඳවන බවත් ඔහු සඳහාන් කරනවා.

මේ පිළිබඳව බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශකයකු පැවසුවේ,

“පිටි, ඊස්ට්, මාගරින්, බිත්තර සහ පෝරනු බල ගැන්වීමට අවශ්‍ය ගෑස් හා ඩීසල් මිල ඉහළ යාම නිසා පාන්, කෙටි කෑම හා කේක් නිෂ්පාදනය පවතින මිල අනුව කළ නොහැකි දෙයක්. අපි මිල වැඩි කරන සෑම අවස්ථාවකම අලෙවිය පහළට වැටෙනවා. පිටි මිටියක් ගන්න රුපියල් 12,200ත් 12,500 ත් අතර මුදලක් අවශ්‍යයි. කුඩා ප්‍රමාණයේ බේකරි පවත්වාගෙන යන බේකරි හිමියන්ට මෙය දරා ගන්න බෑ. දිනකට එක පිටි මිටියක් වැඩ කරලාවත් ඒ මුදල හොයාගන්න බෑ. දිනකට පාන් 550 ක් විකුණපු අපිට දැන් පාන් 150ක්වත් විකුණගන්න බැහැ.”

“මේ වන විට ජංගම අලෙවි රථ සම්පූර්ණයෙන්ම නවතා දමා තිබෙන්නේ. පෙට්‍රල්, ඩීසල් හිඟයත් මිල ඉහළ යෑමත් නිසා චූන්පාන් අලෙවිය නතර කර තිබෙන්නේ. ගම් ප්‍රදේශවල පාන් අලවිය ඉතා අඩුයි. මිල අධික නිසා පාන් ගන්නේ නෑ. ත්‍රිරෝද රථයකට පෙට්රල් ගහලා පාන් අලෙවි කරන්න බැහැ. ඉස්සර හොඳ අලෙවියක් තිබුණා. පාඩු පියවා ගැනීමට යම් සහනයක් ලැබුණෙත් කෙටි කෑම වලින්. කෙටි කෑම හදන්න ගෑස් නැහැ. ඒ වගේම දැන් ජනතාව කෙටිකෑම මිලට ගන්නෙ නැති තරම්. කේක් නිෂ්පාදනයත් අලෙවියත් නතර වෙලා. මේ සියලු ප්‍රශ්න අතර සේවක වැටුප් කිරීම ලොකු ප්‍රශ්නයක්. රැකියාවෙන් ඉවත් කිරීම හැර වෙන විකල්පයක් නැහැ. දැනට සේවක ප්‍රශ්න විසඳා ගැනීමට සේවාමුර ක්‍රමයක් ක්‍රියාත්මක කරනවා. ඉදිරියෙදි මොනවා කරන්නද කියලා ගැටළුවක් තියෙනවා. කෙසේ වෙතත් දේ බේකරි කර්මාන්තය කඩා වැටෙන එක වලක්වා ගැනීමට රජය යම් සහනයක් අපට ලබා දිය යුතුමයි.”