hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 මැයි 02, ප.ව. 1:05



ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සියලු ඩිපෝවල පවතින රියැදුරු හා කොන්‍ෙදාස්තර හිඟයට විසදුමක් ලෙස රියැදුරන් බඳවා ගැනීමේදී අදාළ අධ්‍යාපන සුදුසුකම් අඩුකර බඳවා ගැනීමට හැකිවන ලෙස කැබිනට් පත්‍රිකාවක් යොමු කරන බව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා.

අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න මහතා විසින් ක්‍රියාත්මක ගම්පොළ නගර සංවර්ධන කටයුතු යටතේ ගම්පොළ ඩිපෝවේ සංවර්ධන සැලසුම් නිරීක්ෂණයට පැමිණි අමාත්‍යවරයා මේ බව පැවැසුවා.

ගම්පොළ ඩිපෝවේ කළමනාකාර නවරත්න බණ්ඩාර මහතා විසින් මෙහිදී අමාත්‍යවරයා හමුවේ සඳහන් කර සිටියේ ගම්පොළ ඩිපෝව සතු බස්රථ තිබුණත් ඒවා නිසි ලෙස ධාවනය කිරීමට රියැදුරන් හා කොන්දොස්තරවරුන් නොමැති බවයි.

රියැදුරන් අටසියයක් බඳවා ගැනීමට කටයුතු කළත් එයට ඔවුන්ගේ අ.පො.ස සා.පෙළ අධ්‍යාපන සුදුසුකම් බලපා ඇති බව ඇමැතිවරයා පැවැසුවා.

රියැදුරු සතු පළපුරුද්ද හා බරවාහන සහතික තිබුණත් ඔවුන් බඳවා ගැනීමේදී පවතින මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන දැනට අවශ්‍ය සාමාන්‍ය පෙළ වැඩ හයයි දෙකක් වන අධ්‍යාපන සුදුසුකම වෙනස් කර එය සාමාන්‍ය පෙළ දක්වා පමණක් අධ්‍යාපනය ලැබීම සුදුසුකමක් ලෙස වෙනස් කර අනුමැතිය ලබාගෙන ඔවුන් බඳවා ගැනීමට කටයුතු කරන බව මෙහිදී අමාත්‍යවරයා පැවැසුවා.

මෙම අවස්ථාව සඳහා මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්, අධිකරණ හා බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්නද සහභාගි වී සිටියා.