hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 ජූනි 02, පෙ.ව. 10:56



අලුතින් දුම්රිය ගමන් වාර 50 ක් ආරම්භ කරන බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පැවැසූවත් එය ප්‍රායෝගික නොවන බව දුම්රිය රියදුරන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පවසනවා.

කොළඹ කොටුව, මරදාන දුම්රිය ස්ථානවලට කාර්යාල දුම්රිය පැමිණීමත් සමඟ ඇතිවෙන තදබදයක් දුම්රිය වේදිකා සංඛ්‍යාව සීමිත වීම එයට හේතුව බව ඒ මහතා සඳහන් කළා.

ප්‍රායෝගිකව මෙය ක්‍රියාත්මක කිරීම ගැටලුවක් වුවත් දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන් හා වෘත්තිය සමිති සමඟ මේ පිළිබඳව සාකච්ඡා කිරීම වැදගත් බව සෝමරත්න මහතා සඳහන් කළා.

එහෙත් ඊට ප්‍රථමයෙන් අත්හිටුවා තිබෙන රාත්‍රී තැපැල් දුම්රිය නැවත ක්‍රියාත්මක කළ යුතු බවත් ඒ පිළිබඳව දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයා දැනුවත් කළත් ප්‍රතිඵලයක් නොලැබෙන බවත් ඒ මහතා සඳහන් කළා.

බස්රථ ප්‍රවාහනයේ දී බිද වැටීම් හා දුම්රිය ගාස්තු අඩු මට්ටමක පැවතීම නිසා මගීන් වැඩි සංඛ්‍යාවක් දුම්රිය ගමනා ගමනට එක් වීමෙන් විශාල මඟී තදබදයක් හට ගෙන ඇතැයි ද ඒ මහතා පැවසුවා.

තනි දුම්රිය බලවේග කට්ටල වලට ද්විත්ව බලවේග කට්ටල යොදා ගැනීම මෙන්ම පවතින දුම්රියන් සඳහා මැදිරි සංඛ්‍යාව වැඩි කර ධාවනයට එකතු කිරීම ඊට තම සංගමය කරන යෝජනාව බවද සෝමරත්න මහතා පැවසුවා.

මීට දින දෙකකට ප්‍රථම ඇමතිවරයා දුම්රිය දෙපාර්තමේන්තුව හා මඳ වෙනස්කම් පිළිබඳව සාකච්ඡාවක් සිදු කළ ද මෙවැනි කාරණාවක් සම්බන්ධයෙන් කිසි අවස්ථාවක තමන් දැනුවත් කර නොමැති බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.