hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ජූලි 22, පෙ.ව. 8:37



ජනාධිපති ලේකම් කාර්යාලය අවට ගාලු මුවදොරහි සිටි විරෝධතාකරුවන්ට බලධාරින් බලහත්කාරී හා ප්‍රචණ්ඩකාරී ලෙස අද (22) අලුයම කළ පහර දීම තරයේ හෙළා දකින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ගාලු මුවදොරට පිවිසෙන මාර්ග අවහිර කරමින් හමුදා නිලධාරීන් සහ පොලිසිය සිය ගණනක් මහජනතාවට එම ප්‍රදේශයට ඇතුළුවීම වළක්වා ඇති බව පෙනෙන්නට තිබුණු බව ද නීතිඥ සංගමය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

එම ප්‍රදේශයට ඇතුළුවීමට උත්සාහ කළ නීතීඥවරුන් කිහිපදෙනකුම බලධාරින් විසින් වළකා ඇති බව කියන නීතිඥ සංගමය තම වෘත්තීය මට්ටමින් මැදිහත් වීමට උත්සාහ කළ නීතීඥවරුන් අවම වශයෙන් දෙදෙනෙකුට හමුදා නිලධාරීන් විසින් පහර දී ඇති බවට දන්වා ඇතැයි ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය නිවේදනය මඟින් සඳහන් කරනවා.

නිරායුධ සිවිල් වැසියන්ට ආරක්ෂක අංශ විසින් පහර දෙන අයුරු ද වීඩියෝ දර්ශනවල දැක්වෙන බව අදාළ නිවේදනයේ සඳහන්.

එම සංගමයේ සභාපතී ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා නිකුත් කළ එම පණිවුඩය මෙසේය.

ජනාධිපති ලේකම් කාර්යාලය අසල ගාලු මුවදොරදී විරෝධතාකරුවන්ට පහරදීමක් සම්බන්ධයෙන් නීතිඥවරුන් කිහිප දෙනෙකු මා දැනුවත් කර තිබෙනවා. විස්තර දළ වශයෙන් වුවත් නීතීඥ නුවන් බෝපගේ ඇතුළු කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද මට දැනගන්නට ලැබුණා. ජනතාවට පහර දීලා තියෙනවා කියලාත් වාර්තා වුණා. බලධාරීන් සෑම කෙනෙකුගේම ආරක්ෂාව සහතික කළ යුතු අතර ඔවුන් සිටින ස්ථානය දැනගත යුතුය. මම පොලිස්පතිතුමා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ අතර හමුදාපතිවරයාට ද පණිවිඩයක් යැව්වා. අනවශ්‍ය ලෙස බලය යොදා ගැනීමෙන් මේ රටට සහ එහි ජාත්‍යන්තර ප්‍රතිරූපයට යහපතක් නොවනු ඇත.