hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 මැයි 26, ප.ව. 4:37



පාසල්වලට ප්‍රමාණවත් අයුරින් පෙළපොත් හා වැඩපොත් නොලැබීමෙන් සිසු දරුවන් සහ මවුපියන් බලවත් පීඩාවකට පත්ව ඇතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවා.

දෙවැනි ශ්‍රේණියේ ඉගෙන ගන්නා දරුවන්ට ප්‍රමාණවත් අයුරින් පාසල් වැඩපොත් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු නොකිරීම හේතුවෙන් ඒවා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ අලෙවිසල් වෙතින් මිලදී ගැනීමට මවුපියන්ට සිදුව ඇතැයි ඔහු සඳහන් කළා.

එම ශ්‍රේණියේ ඉගෙන ගන්නා දරුවකුට අවශ්‍ය සිංහල වැඩපොතක් රුපියල්  360ක් වැනි මිලකට සහ ගණිතය වැඩපොතක් රුපියල්  780ක් වැනි මිලකට මිලදී ගැනීමට මවුපියන්ට සිදුව ඇතැයිද ඔහු පෙන්වා දුන්නා.

ප්‍රාථමික ශ්‍රේණියක අධ්‍යාපනය ලබන දරුවකුට ඉගෙනුම් කටයුතු කිරීමේදී වැඩපොත් ඉතා අත්‍යවශ්‍ය නිසා කෙසේ හෝ තම දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් නොවීමට මවුපියන්ට මේවා කෙසේ හෝ මිලදී ගැනීමට සිදුවන බවද ඇතැම් පාසල්වලට වැඩපොත් කීපයක් ලබාදී අවශ්‍ය අනෙකුත් වැඩපොත් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් මිලදී ගන්න යැයි දැනුම් දී ඇතැයිද ඔහු පැවැසුවා.

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ අලෙවිසල්ද තෝරාගත් ස්ථාන කිහිපයක පමණක් ඇති නිසා තම දරුවන්ට මුදලට හෝ  වැඩපොත් මිලදී ගැනීමට හැකියාව ඇති මවුපියන් වඩාත් අපහසුතාවට පත්ව ඇතැයි ද හෙතෙම සඳහන් කළා.

එමෙන්ම ඇතැම් පාසල්වල ප්‍රාථමික ශ්‍රේණියේ දරුවන්ට වැඩපොත් ලබාදී ඇතත් එම වැඩපොත්වල නොලියා එහි ඇති අභ්‍යාස වෙනත් පොතක පිටපත් කොට ඒවාට පිළිතුරු සපයන ලෙස උපදෙස් දී ඇති බවද ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළා.

අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට මෙන්ම පාසල් දරුවන්ට කෘත්‍රිම බුද්ධිය පිළිබඳව අධ්‍යාපනය ලබාදීමට පෙර පාසල් දරුවන්ට අවශ්‍ය පෙළපොත් හා වැඩපොත් ප්‍රමාණවත් අයුරින් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවරගත යුතු බවද ඔහු අවධාරණය කර සිටියා.