hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 අගෝස්‍තු 05, ප.ව. 2:30



මහනුවර ශ්‍රී දළදා බැලීමට පැමිණ සිටියදී අතුරුදන්ව සිටි 9 හැවිරිදි දරුවෙකු මහරගම ප්‍රදේශයේදී පොලිසිය විසින් සොයා ගනු ලැබ තිබෙනවා.

එම දරුවා රැගෙන පැමිණි සැකකටයුතු පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසුවේ.

දරුවා සහ අදාළ පුද්ගලයා ඊයේ (04) රාත්‍රියේ අවිස්සාවේල්ල දක්වා ගමන් කරමින් තිබූ දුම්රියක සිටියදී මෙලෙස පොලිස් භාරයට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකටයුතු පුද්ගලයා 30 හැවිරිදි වියේ පසුවන පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පොලිසිය සඳහන් කළේ මයිලාපිටිය, තලවතුඔය ප්‍රදේශයේ පදිංචි එම දරුවා පසුගිය 3 වන දා තම දෙමව්පියන් සමග මහනුවර ශ්‍රී දළදා පෙරහැර බැලීමට පැමිණ ඇති බවයි.

එහිදී මව්පියන්ට නොදන්වා සැකකරු මෙලෙස දරුවා රැගෙන කොළඹට පැමිණ තිබෙනවා.

ඊයේ රාත්‍රියේ කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා ගමන් කරමින් තිබූ දුම්රියක පුද්ගලයෙකු සමග සිටි දරුවෙකු බියට පත්ව සිටින බව සහ සැකකටයුතු බවට සැලවී මාධ්‍යවේදියෙකු මහරගම පොලිසිය වෙත දැනුම් දී තිබෙනවා.

දරුවාගේ දෙමව්පියන් විසින් දරුවා අතුරුදන්ව ඇති බවට මහනුවර පොලිසිය වෙත පැමිණිල්ලක් ද සිදු කරනු ලැබ තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, අපරාධකරුවන් විවිධ අරමුණු සඳහා ළමයින් රවටා රැගෙන යා හැකි බව ත් එළෙස ළමුන් රවටා රැගෙන යාමට මෙවැනි අවස්ථා උපයෝගි කරගත හැකි බව ත් විවිධ සිදුවීම් හරහා නිරීක්ෂණය වී ඇති බවයි..

ඒ හේතුවෙන් මහජනයා වැඩි වශයෙන් රැස්වන උත්සව අවස්ථා හෝ පොදු ස්ථානවල ගැවසීමේදී මව්පියන් තම කුඩා දරුවන් පිළිබඳව දැඩි අවධානයෙන් සහ සැලකිලිමත්ව කටයුතු කළයුතු බව පොලිසිය අවධාරණය කර තිබෙනවා.

එසේ ම, තම ආරක්ෂාව පිළිබඳව කුඩා ළමුන් ද නිරන්තරයෙන් දැනුවත් කරන ලෙස පොලිසිය මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.