hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 ජූලි 09, පෙ.ව. 10:21



ඊයේ රාත්‍රී 9.00 සිට ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාශ 07ක් ආවරණ වන පරිදි පනවා තිබු පොලිස් ඇඳිරි නීතිය අද පෙරවරු 8.00ට ඉවත් කිරීමත් සමඟ කොළඹ අවට ප්‍රදේශවල පොදු ප්‍රවාහන කටයුතු තවමත් නිසියාකාරව ක්‍රියාත්මක නොවන බව වාර්තා වනවා.

අප වාර්තාකරු සඳහන් කළේ කොළඹ නගරයේ බස් ධාවනය තවමත් යථා තත්වයට පත් ව නොමැති බවයි.

ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ඒෂියන් මිර්ර් වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ අද දිනයේ පුද්ගලික බස් ධාවනය නොවන බවයි.

අරගලය සඳහා පුද්ගලික බස් ලබා දීමට කටයුතු කර තිබේද යන්න අප කළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ අරගලයට සඳහා පුද්ගලික බස් කිසිදු ආකාරයකින් ලබා නොදෙන බවයි.

ඒ සඳහා ඇතැම් පුද්ගලයින් විශාල මුදලක් එක් බස් රථයක් සඳහා ලබා දෙන බව පැවසුවද තමන් ප්‍රතිපත්තියක් ලෙස විරෝධතා, පක්ෂ පෙළපාලි හෝ රැස්වීම් සඳහා බස් රථ ලබා නොදෙන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසුවා.

මේ අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වෘත්තිය සමිති කිහිපයක් ක්‍රියාත්මක කළ වැඩවර්ජනයද මේවන විට අවසන් කර තිබෙනවා.

සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ මහතා පැවසූවේ වර්ජනය අවසන් කිරීමත් සමඟ සිය බස් රථ සාමාන්‍ය පරිදි ධාවනය සඳහා එක් කරන බවයි.

විෂයභාර අමාත්‍යවරයා හා ශ්‍රී ලංගම සභාපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී පොදු මගී ප්‍රවාහන සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාමට සේවකයින්ට ඩිපෝ වෙත වාර්තා කිරීමට බාධාවක් නොවන පරිදි ඉන්ධන පහසුකම් ලබාදීමට එකඟවීමත් සමග අදාල වර්ජනය සිදුනොකරන බවත්, අදාල එම එකඟතාවය ලිඛිතව ලබාදීමට විෂයභාර අමාත්‍යවරයා එකඟ වූ බවත් ඒ මහතා පෙන්වා දුන්නා.

ඒෂියන් මිරර් හැටන් වාර්තාකරු පැවසූවේ උඩරට දුම්රිය මාර්ගයේ දුම්රියන් කිහිපයක් පමණක් ධාවනය වු බවත් හැටන් ලංගම ඩිපෝවේ බස් රථ ඩිපෝවේ ගාල් කර ඇති බවත්ය.

ජන අරගලයට සහයෝගය දක්වා පෞද්ගලික බස් රථ කිසිවක් ධාවනය නොවූ බවයි ඔහු සඳහන් කළේ.

පොදු ප්‍රවාහන සේවය අඩාල විම නිසා විදේශිකයන් ඇතුළු සමාන්‍ය මගින් පිඩාවට පත් වි ඇතැයිද ඔහු සඳහන් කළා.

මේ අතර පොලිස් ඇඳිරි නීතිය ඉවත් කළත් දුම්රිය ධාවනය නොකිරීම හේතුවෙන් උදෑසන දුම්රිය ස්ථාන වෙත පැමිණි මගීන් දැඩි පීඩාවට පත්ව තිබෙනවා.

දුම්රිය ස්ථාන වෙත මේ වන මගීන් විශාල පිරිසක් පැමිණ සිටින බවද වාර්තා වනවා.

මහනුවර දුම්රිය ස්ථානයට පැමිණි මගීන්ගේ දැඩි ඉල්ලීම හමුවේ දුම්රියක් ගමන් ආරම්භ කර ඇති බව ද වාර්තා වනවා.

ගාල්ල දුම්රිය ස්ථානයේ අද (09) උදෑසන දැඩි උණුසුම් තත්වයක් හටගෙන තිබෙනවා. ඒ ‍දුම්රියෙන් කොළඹ යාමට විශාල පිරිසක් පැමිණ සිටිය ද දුම්රිය කිසිවක් අද ධාවනය නොවීම හේතුවෙන් අපහසුතාවට පත්වූ ජනතාව කෑ කෝ ගසමින් එම ස්ථානයේ විරෝධය දක්වා තිබීම හේතුවෙන්.

ගාල්ල සහ මාතර අතර දුම්රිය ධාවනය වූ ‍නමුත් කොළඹ දෙසට දුම්රිය ධාවනය නොවීම හේතුවෙන් ගාල්ල දුම්රිය ස්ථානයේදී දැඩි උණුසුම තත්ත්වය උද්ගතවී තිබුණා.

කොළඹට දුම්රිය ධාවනය අත්හිටුවන ලෙස ඉහළින් උපදෙස් ලැබී ඇති බව දුම්රිය ස්ථානධිපතිවරු පවසනවා.

නමුත් උපදෙස් දුන් අය කවුරුන්දැයි පවසන්නේ නැති බව රැස්ව සිටින පිරිස් සඳහන් කරනවා.

කෙසේ වුවද රැස්ව සිටි පිරිසගේ ඉල්ලීම මත විශේෂ දුම්රියක් කොළඹ බලා ධාවනය කිරීමට කටයුතු යොදන බව ස්ථානාධිපතිවරු කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: