hit counter

2024 මැයි මස 08 වන බදාදා

2022 ජූලි 11, ප.ව. 12:23



කොළඹ හා තදාසන්න ප්‍රදේශ වල බස් ධාවනය දුර්වල මට්ටමක පවතින අතර ඇතැම් මාර්ග වල ධාවනය එක් බස් රථයකට සීමා වී ඇති බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

ඒ අනුව මගීන් දැඩි දුෂ්කරතාවයකට මුහුණ පා තිබුණා.

මේ අතර ශ්‍රී ලංගම බස් රථ ද ධාවනය නොවන තත්වයක් වාර්තා වුණා.

මේ අතර ඇතැම් මාර්ගවල ගමන් ගන්නා පුද්ගලික වාහන වල මගීන් නංවාගෙන යන ආකාරයක් ද දැක ගත හැකි වූ බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

මේ අතර අප හැටන් වාර්තාකරු සඳහන් කළේ හැටන් ලංගම සහ පෞද්ගලික බස් නැවතුම්පොලින් දිනපතා දුර සහ කෙටිදුර ධාවනය කරන ලංගම සහ පෞද්ගලික බස් රථ ගණනාවක් අද (11) ධාවනයට එක් නොකිරිම හේතුවෙන් රාජකාරි සදහා පැමිණෙන රජයේ සේවකයින් මෙන්ම මගීන් දැඩි අසිරුතාවයට පත් වි සිටි බවයි.

හැටන් ලංගම ඩිපෝව මගින් කෙටි දුර ධාවනය සදහා ලංගම බස් රථ මාර්ග කිහිපයකට පමණක් ධාවනයට යොදවා ඇති බවත්, දුර සේවා සදහා ධාවනය කරන බස් රථ වලට ටයර් සහ අමතර කොටස් නොමැති විම නිසා තම ඩිපෝවේ බස් රථ කිහිපයක්ම ධාවනයෙන් ඉවත් කර ඇති බව හැටන් ලංගම ඩිපෝවේ කළමණාකරු ඩබ්ලිව්.ජි.ජේ.කේ.කිර්තිරත්න මහතා ඒෂියන් මිරර් වෙත පැවසුවා.

හැටන් ලංගම බස් නැවතුම්පොලින් කොළඹ සදහා ගමන් කිරීමට විශාල මගීන් පිරිසක් අද (11) අලුයම සිට ලංගම බස් නැවතුම්පොලෙහි රැදි සිටින ආකාරයක්ද දැක ගැනීමට හැකි වූ බව අප වාර්තාකරු සඳහන් කළා.

මේ අතර හැටන් පෞද්ගලික බස් නැවතුම්පොලින් දුර සහ කෙටිදුර ධාවනට දිනපතා එක් කරන බස් රථ ගණනාවකට හැටන් ලංගම ඩිපෝවෙන් ඩීසල් ඉන්ධන නිකුත් නොකිරීම නිසා එම බස් රථ ධාවනයෙන් ඉවත් කර ඉන්ධන ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ඩිපෝව අසල පෝලිම් වල ගාල් කර ඇති බව හැටන් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති එස්.උදයකුමාර් මහතා පැවසුවා.

මේ අතර ඒෂියන් මිරර් ගාල්ල වාර්තාකරු සඳහන් කළේ ඉන්ධන අර්බුදය හේතුවෙන් ලංගම සේවකයින් වැඩි පිරිසකට සේවයට වාර්තා කිරිමට නොහැකි වීමෙන් ලංගම රුහුණු ප්‍රාදේශිකය මගින් අද (11) ධාවනයට එක් කිරීමට හැකි වි ඇත්තේ ලංගම බස්රථ 153ක් පමණක් බවයි.

ඉන්ධන අර්බුදය ලංගම සේවකයින්ට දැඩි ලෙස බලපා ඇති බවත් ඉන්ධන නොමැති වීම නිසා ඔවුන්ට තම සේවා ස්ථානවලට වාර්තා කිරිමට නොහැකි වී ඇති බවද ප්‍රභාත් කුමාර මහතා පැවසුවා.

සාමාන්‍යයෙන් ලංගම රුහුණු  ප්‍රාදේශිකය මගින්  දිනපතා බස්රථ 385ක් පමණ ධාවනය කරන බව පවසන ආර්.වි.ප්‍රභාත් කුමාර මහතා මෙම අර්බුදය හේතුවෙන් ඊයේ (10) පස්වරුවේ දී ධාවනය කිරිමට හැකි වූයේ ලංගම බස්රථ 50ක් පමණක් බවද සඳහන් කළා.

ලංගම රුහුණු ප්‍රාදේශිකයේ සේවකයින් 2000ක් පමණ සේවය කරන බවත් මෙම සේවකයින්ට ඉන්ධන ලබා දීම සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයා සමගද සාකච්ඡා කොට ඇති බව පවසන ප්‍රභාත් කුමාර මහතා අද (11) පස්වරුව වන විට ඉතිරි බස්රථ සංඛ්‍යාවද ධාවනය කිරිමට හැකිවනු ඇති බවද වැඩිදුරටත් සදහන් කළා.

හැටන් – රංජිත් රාජපක්ෂ / ගාල්ල – ලලිත් චාමින්ද