hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ජූලි 25, ප.ව. 12:22



යාපනයේ සිට කොළඹ දක්වා ධාවනය වූ ලංගම බස් රථයක රියදුරුට සහ කොන්දොස්තරවරයාට ගල්ගමුව ප්‍රදේශයේදී එල්ල වූ පහරදීමක් හේතුවෙන් අද (25) උදෑසන සිට ලංගම සේවකයින් වැඩවර්ජනයක නිරත වීම හේතුවෙන් උතුරු පළාතේ බස් ධාවනය සම්පුර්ණයෙන්ම අඩාලව වී තිබෙනවා.

ලංගම බස්රථ සේවකයින්ගේ වැඩවර්ජනය හේතුවෙන් උතුරේ පෞද්ගලික බස් රථවලට ලංගම ඩිපෝ මගින් ඉන්ධන ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් පෞද්ගලික බස්රථ වලට දෛනික ධාවන කටයුතු සඳහා ඉන්ධන නොමැති වීම මත පෞද්ගලික බස්රථ ධාවනයද සම්පූර්ණයෙන්ම අඩාල වී තිබෙනවා.

බස් ධාවනය සම්පූර්ණයෙන්ම ඇණහිටීම මත උතුරේ සාමාන්‍ය මගී ජනතාව මෙන්ම පාසල් ළමුන්, කාර්යාල සේවකයින් දැඩි අපහසුතාවන්ට මුහුණ පෑමට සිදු වී ඇති බව වාර්තා වෙනවා.

පසුගිය 22 වනදා රාත්‍රියේ ගල්ගමුව ප්‍රදේශයේදී යාපනයේ සිට කොළඹ දක්වා ධාවනය ළුූ බස් රථයේ රියදුරුට සහ කොන්දොස්තරවරයාට පහර දී තුවාල සිදු කිරීම හේතුවෙන් අදාල පහරදීම සිදු කල පිරිස් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා ලංගම සේවකයින් මෙලෙස වැඩවර්ජනයේ නිරතව සිටිනවා.

කෙසේවෙතත් අදාල පහරදීම සිදු කර ඇත්තේද ලංගම සේවකයින් පිරිසක් බවට මේ වන විට අනාවරණය වී ඇති අතරම අදාල පිරිස් කඩිනමින් අත්අඩංගුවට ගන්නා බවටද ගල්ගමුව පොලීසිය පැවසුවා.

කෙසේ වෙතත් වැඩවර්ජනයේ නිරත ලංගම සේවකයින් වැඩිදුරටත් පවසා සිටින්නේ අදාල පහරදීමට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන තුරු වැඩවර්ජනය අත්නොහරින බවයි.

වන්නි – රොමේෂ් මධුෂංඛ