hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 අගෝස්‍තු 04, ප.ව. 1:50



කිව් ආර් ක්‍රමයට ප්‍රමාණවත් පරිදි ඩීසල් නො ලැබෙන බව පවසමින් පෞද්ගලික බස් සංගම් කිහිපයක් අද (04) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

එහි ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් සඳහන් කළේ, ප්‍රධාන බස් සංගම් කිහිපයක් බස් රථ ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවයි.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසුවා,

“QR කේතය මගින් ඩීසල් ලබා දීමේදී සතියකට ඩීසල් ලීටර් 40ක් තමයි පෞද්ගලික බස් රථවලට ඉන්ධන ලබා දීමට රජය තීරණය අරගෙන තියෙන්නේ. ඩීසල් ලීටර 40 කියන්නේ, දුර සේවා නම් පැයක්වත් ධාවනය කරන්න බැහැ. කෙටිදුර ධාවනය වන බස් රථයක් වරුවක් ධාවනය කළ හැකි. මේ වන විට දකුණු පළාත් බස් හිමියන්ගේ සංගමය සමස්ත දකුණු පළාත තුළ ම බස් ධාවනයෙන් ඉවත් වෙලා. ඒක නිසා අපි කියනවා අද මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වෙන්න අපේ ප්‍රධාන බස් සංගම් කිහිපයක් තීන්දු කරා.”

ඒ අනුව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය, අන්තර් පළාත් බස් හිමියන්ගේ සංගමය, පොදුජන එක්සත් බස් හිමියන්ගේ සංගමය සහ සමස්ත ලංකා එක්සත් බස් හිමියන්ගේ සංගමය මෙම වර්ජනයට එක්වන බවයි වාර්තා වන්නේ.