hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 අගෝස්‍තු 05, පෙ.ව. 10:31



පෞද්ගලික බස් සංගම් කිහිපයක් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බස් රථ ධාවනයෙන් ඉවත් වී තිබෙන්නේ දිවයින පුරා QR කේත ක්‍රමය මගින් ලබා දෙන ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවන බවට චෝදනා කරමින්.

සමස්ථ ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසුවේ ඉන්ධන ගැටලුව සදහා කඩිනම් විසදුමක් ලැබෙන තෙක් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

බස් සංගම් කිහිපයක් අද වර්ජනයක් ක්‍රියාත්මක කළද දිවයින පුරා පිහිටි ලංගම ඩිපෝ මගින් බස් රථ සාමාන්‍ය පරිදි සිදුකරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

ඒ අනුව අද දිනයේදී උපරිම බස් රථ සංඛ්‍යාවක් යොදවන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ධාවන පණ්ඩුක ස්වර්ණහංස මහතා පැවසුවා.

මේ අතර පෞද්ගලික බස් රථ වලට ලංගම ඩිපොව මගින් නිකුත් කරන ඩිසල් ඉන්ධන ප්‍රමාණවත් නොවිම සහ බස් ගාස්තු අඩු කිරිම යන කරුණු මුල් කරගනිමින් පෞද්ගලික බස් සංගම් කිහිපයක් විසින් අද (05) දින ආරම්භ කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට තම සංගමයේ කිසිදු සහයෝගයක් නොදක්වන බව  හැටන් පෞද්ගලික බස් රථ සංගමයේ එම්.උදයකුමාර් මහතා පැවසුවා.

හැටන් පෞද්ගලික බස් නැවතුම්පොලේ සිට දිනපතා දුර සහ කෙටිදුර ධාවනය කරන බස් රථ සමාන්‍ය පරිදි ධාවනය කරන බවත්, ඒ සදහා හැටන් ලංගම ඩිපොවෙන් පෞද්ගලික බස් රථ සදහා ප්‍රමාණවත් තරම් ඉන්ධන නිකුත් කරන නිසා තමන් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට එක් නොවන බවයි සභාපතිවරයා කියා සිටියේ.

අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු අඩු කලද ඇතැම් පෞද්ගලික බස් රථ හිමියන් එම බස් ගාස්තු මගීන්ගෙන් අඩු කර ලබාගන්නා අතර, තවත් පිරිසක් කියා සිටින්නේ ඒ සදහා අවශ්‍ය ලිඛිත දැනුම්දිම තමන් වෙත මෙතෙක් ලැබි නොමැති බවයි.

ලංගම බස් රථ වලද අඩු කල බස් ගාස්තුවට අනුව මගින්ට ප්‍රවේශපත්‍ර නිකුත් කිරිමට පියවර ගෙන ඇති බවයි ලංගම බස් රථ කොන්දොස්තරවරුන් කියා සිටියේ.

හැටන් – රංජිත් රාජපක්ෂ