hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 මාර්තු 15, ප.ව. 1:17



වර්ජනයක් පැවතියත් අද (15) පෙරවරු 8 වනවිට කාර්යාල දුම්රිය ගමන් වාර 20ක් ධාවනය කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා තහවුරු කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

කෙසේවෙතත් වෛද්‍ය, වරාය, විදුලි, ජල, තැපැල්, බැංකු සහ අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර රැසක වැඩවර්ජනය මේ වනවිට දීප ව්‍යාප්තව ආරම්භ වී තිබෙනවා.

වෛද්‍ය වර්ජනයෙන් රෝහල්වල දෛනික කටයුතු අඩාල වී ඇති බවයි ප්‍රදේශ රැසක ඒෂියන් මිරර් වාර්තාකරුවන් කියා සිටියේ.

අද (15) පෙරවරු 11.00 වන විට ඩිපෝ 107ම නියමිත කාලසටහනට අනුව ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා සඳහන් කර තිබෙනවා.

ලංගම වෘත්තීය සමිති 08න් ජවිපෙ වෘත්තීය සමිතිය හැර අනෙක් වෘත්තීය සමිති 07ම සහයෝගීත්වයෙන් කටයුතු කරන බවයි සභාපතිවරයාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

මේ අතර ගුරු විදුහල්පති වර්ජනයෙන් බොහෝ පාසැල්වලට සිසු සිසුවියන් පැමිණ නැහැ.

නැගෙනහිර පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂිකා අකීලා කනගසූරියම් මහත්මිය කියා සිටියේ තමාට වාර්තා වූ ආකාරයට පාසැල්වල ගුරුවරුන්ගේ සහ ළමයින්ගේ පැමිණීම අවම මට්ටමක පවතින බවයි.

එමෙන්ම උතුරු පළාතේ ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ගේ පැමිණීම සියයට 10ක මට්ටමක පැවති බවයි පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.

මේ අතර ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව මගින් කැඳවා තිබු වැඩ වර්ජනය අද (15) දින රුහුණු විශ්ව විශ්වවිද්‍යාලයට අයත් කරාපිටිය වෛද්‍ය පීඨය හපුගල ඉංජිනේරු පීඨය සහ ගාල්ල සම සමසෞඛ්‍ය පීඨය යන ආයතනයන් තුල ක්‍රියාත්මක වූ බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

මෙකී වර්ජනය හේතුවෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කටයුතු වලට ද දැඩි ලෙස බාධා ඇති වී තිබෙනවා.

බාහිර ප්‍රතිකාර අංශය කටයුතු සම්පූර්ණයෙන්ම ඇණ හිට තිබු අතර බාහිර ප්‍රතිකාර අංශය පාළුවට ගොස් තිබු බව වාර්තා වෙනවා.

මේ අතර  දකුණු පළාතේ පාසල් සියල්ලක්ම පාහේ අද දින විවෘතව නොතිබුණ බවත් පාසල් දරු දැරියන් මෙන්ම ගුරු විදුහල්පතිවරු ද පාසල් වලට නොපැමිනීම නිසා පාසල් වසා දමා තිබු බවද අප වාර්තාකරු සඳහන් කළා.

ගාල්ල දුම්රිය ස්ථානය පාළුවට ගොස් තිබූ අතර  ශ්‍රී ලංගම බස් රථ හා පුද්ගලික බස් රථ සාමාන්‍ය පරිදි ධාවනය වූ බවද වාර්තා වෙනවා.

ඇතැම් පාසල්වල ළමයින් කිහිප දෙනෙකු පැමිණ සිටියද ගුරුවරුන් නොමැති වීම හේතුවෙන් ඔවුන්ට යලි නිවෙස් බලා යාමට සිදු වුණා.

ගාල්ල – ලලිත් චාමින්ද