hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 මාර්තු 16, ප.ව. 1:59



යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ ඕමන්ත සිට කිලිනොච්චිය දක්වාත් මුලතිව්හි ප්‍රධාන මාර්ගයන්හි ධාවනය වන බස් රථ කිසිවක් උදෑසන කාලයේ පාසල් සිසු දරුවන් ඇතුලත් නොකරගැනීමෙන් පාසල් දරුවන් දැඩි පීඩාවන්ට පත්ව සිටිනවා.

ලංගම බස් රථ මෙන්ම පෞද්ගලික බස්රථද උදෑසන කාලයේ බස්රථවලට පාසල් සිසුන් සිටින බස් නැවතුම්පලවලින් නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් ඇතැම් සිසුන් පාසල යන විට උදෑසන 09 වන අවස්ථාද පවතින බවට පාසල් දරුවන්ගේ දෙමාපියන් මැසිවිල නගනවා.

එමෙන්ම මේ දිනවල පාසල් වර්ෂාවසාන විභාගයන් පැවත්වෙන හෙයින් පාසල් සිසු දරුවන් වෙනුවෙන් බස් රථ නොනැවැත්වීම නිසා එම පාසල් ළමුන්ගේ විභාග කටයුතුවලටද දැඩි බාධා එල්ලවී තිබෙනවා.

මේ හේතුව නිසාම මුලතිව්හි රථවාහන පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුටද මැදිහත් වී ධාවනය වන බස් රථ නවත්වා පාසල් ළමුන් බස්රථවලට ඇතුල් කිරීමට සිදුව ඇති අතරම බස්රථ රියදුරන්ටද අවවාද කිරීමට සිදුව තිබෙනවා.

කෙසේ නමුත් පාසල් ළමුන් සහ දෙමාපියන් පවසා සිටින්නේ අදාල බස්රථ දින කිහිපයක් පාසල් ළමුන් බස් රථවලට ඇතුල්කරගත්තද පසුව සුපුරුදු පරිදි බස්රථ නොනවත්වා ධාවනය කිරීම සිදුවන බවටත් මාස කිහිපයක්ම මෙම ගැටලුව බලධාරීන්ට පවසා සිටියද මේ වන තුරුත් විසඳුමක් නොලැබුනු බවටත්ය.

එසේම බස් රථ සිසුදරුවන්ට නොනැවත්වීම හේතුවෙන් සිසුදරුවන් විශාල පිරිසක්ට පැය කිහිපයක් උදෑසන් කාලයේදී ඉගෙනීම් අහිමි වන අතරම සවස් කාලයේදීද පැය දෙකක් හෝ තුනක් ප්‍රමාද වී නිවසට පැමිණීමට සිදුව ඇති බවටත්ය.

මේ හේතුව නිසා කඩිනම් විසඳුමක් නොලැබුනහොත් ඉදිරියේදී මාර්ගයන් අවහිර කොට මෙම ගැටලුවට ස්ථීර විසඳුමක් ලැබෙනතුරු දැවන්ත විරෝධයක් කිරීමට බලාපොරොත්තු වන බවට පාසල් සිසුදරුවන්ගේ දෙමාපියන් වැඩිදුරටත් පවසා සිටියා.