hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ජූනි 06, ප.ව. 12:14



ඉන්ධන නොමැතිවීම හේතුවෙන් දඹුල්ල, ගලේවෙල, සීගිරිය, නාඋල ආදී ප්‍රදේශවල පොදු ප්‍රවාහන පහසුකම් නොමැති වීම නිසා අද (06) පෙරවරුවේ රාජ්‍ය සේවකයින්, පාසල් සිසුන් මෙන්ම මගින් රැසක් දැඩි අසීරුතාවයකට පත්ව සිටි බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

දඹුල්ල නගරය රට මැද පිහිටි නගරය නිසාවෙන් බොහෝ දුර බැහැර ප්‍රදේශ සඳහා ගමන් කිරීමට තම ගමන් මාර්ගය බවට පත්කර ගන්නේ දඹුල්ල නගරයයි.

කෙසේවෙතත් මෙදින උදෑසන සිටම පෞද්ගලික මෙන්ම ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ ද 80%ක පමණ අඩුවක් දක්නට ඇති බව මගී ජනතාව පෙන්වා දෙනවා.

ඊට ප්‍රධානතම හේතුව ඉන්ධන නොමැතිවීම බවද පැවසෙනවා.

රාජ්‍ය සහ පෞද්ගලික සේවා සඳහා ගමන් කරන ජනතාව මහමග බස්රථ එනතුරු දඹුල්ල නගර මධ්‍යයේ රැඳී සිටින අයුරු දැක ගැනීමට හැකි වූ අතර රාජ්‍ය සේවකයන් කියා සිටියේ මේ වනවිටත් තමන්ගේ සේවා මුරය සඳහා ගමන් කිරීමට නොහැකි  බවයි.

අනුරාධපුර, යාපනය, පොලොන්නරුව ආදී දුර බැහැර ප්‍රදේශවලට ගමන් කරන මගී ජනතාව මෙන්ම කෙටි දුර ගමන් කරන මගීන ජනතාව ද දඹුල්ල නගරයේ එක් රොක් ව සිටි බව අප වාර්තාකරු සඳහන් කළා.

පාසල් සඳහා ගමන් කරන ඇතැම් ළමුන් බස්රථ නොමැතිවීම නිසා උදෑසන පාසල් ආරම්භ වී ඇති වෙලාවේ පවා බස් නැවතුම් පොළවල රැඳී සිටින අයුරු ද අපට දැක ගැනීමට හැකි වී තිබෙනවා.

දුර පළාත් වලට ධාවනය වන බස් රථවලින් පාසල් සිසුන් ලබා නොගැනීම නිසා ඔවුන් මහ මඟ අතරමං ව සිටීම විශේෂත්වයක්.

දඹුල්ල – කාංචන කුමාර ආරියදාස