hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 ජූලි 08, ප.ව. 10:52



හෙට දිනය වන විට සේවකයින්ට තෙල් නැතැයි ප්‍රශ්නයක් මතු කරමින් බස් හා දුම්රිය සේවා අඩපණ කිරීමේ උත්සහයක් ඇතැයි පාර්ශව කිහිපයක් අද අනාවරණය කළා.

ගමනාගමන මණ්ඩලයේ සහාපති කිංස්ලි රණවක මහතා අද මාධ්‍ය හමුවක් කැදවමින් පැවසුවේ තෙල් ප්‍රශ්නය මුල් කරගෙන සේවයෙන් ඉවත් වන බවට වෘත්තිය සමිති 6ක් පැනවූ බවයි.

ජාතික ප්‍රවාහන සේවක සංගමය පවසන්නේ එය සැලසුම් සහගත වැඩපිලිවෙලක් බවයි.

ශ්‍රී ලංකා නිදහස් ජාතික ප්‍රවාහන සේවක සමිතියේ සභාපති සමන් පුෂ්පකුමාර මහතා,

“ඇමතිතුමාගේ ඉදලා ලංගම සභාපති තුමාගේ ඉදලා උපදෙස් දෙනවා අද බස් දුවන්න එපා කියලා. නමුත් සේවකයින්ට ගැටලු රාශියක් තිබෙන අවස්ථාවක ඒ ගැටලු මුල් කොට නොගෙන අරගලයට එන මිනිස්සුන්ට ප්‍රවාහන අපහසුතා ඇති කරන්න අද පොහොට්ටුවේ වෘත්තිය සමිති මෙහෙයවීමෙන් අද මේ වැඩවර්ජනය තියන්න බලාපොරොත්තු වෙනවා. අද මේ වැඩේ පටන් ගත්තේ අරගලය පරාජයට පත් කරන්න. ඒකට ජනතාව ඒම වළක්වන්න. මේකට ඉන්නවා හොම්බ ඇණ ගත්ත කපුටෙක් ඉන්නවා ඉහළින්. උපදෙස් දෙන කපුටෙක් ඉන්නවා. එතුමාගේ උපදෙස් පරිදි තමයි ලංගම බලධාරීන් කටයුතු කරන්නේ.”

මේ අතර අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා කියා සිටියේ මෙලෙස ලංගම ඩිපෝ හරහා පෞද්ගලික බස් රථ සඳහා ලබා දුන් ඉන්ධන නිකුත් කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇත්තේ හෙට දින කොළඹ පැවැත්වෙන විරෝධතාවට පිට පළාත්වලින් පැමිණෙන පිරිස් හට ප්‍රවාහන පහසුකම් ලබා ගැනීමේ අවස්ථාව අහිමි කිරීමට බවයි.

රජයේ මෙම බියගුළු ක්‍රියාව හෙළා දකින බවත් එය පරාජය කිරිම සඳහා විරෝධතාවට එක් වන සියලු දෙනා එකාවන්ව කටයුතු කළ යුතු බවත් ඒකාබද්ධ වෘත්තීය සමිති කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසනවා.

ඔහු ප්‍රකාශ කළේ රජය ඉන්ධන බෙදාහැරීම අත්හිටුවා ලංගම සේවකයින් වර්ජන ක්‍රියාමාර්ගයකට යොමුකර ප්‍රවාහන පහසුකම් අඩාල කරන්නේ නම් තමන්ට ආසන්නම නගරයට ගොස් රජයට විරෝධතාව පළ කරන ලෙසයි.

මේ අතර බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස 7 කට පොලිස් ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් කොළඹට හෙට (09) දින දුම්රිය ධාවන නොකරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න මහතා පැවසුවා.