hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 පෙබරවාරි 23, ප.ව. 12:58



රාජකාරී විදේශ සංචාර සඳහා ගුවන් ටිකට්පත් මිල දී ගැනීමට රජයේ අරමුදල් භාවිත කරනු ලබන අවස්ථාවලදී අගවිනිසුරු,ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු, අභියාචනාධිකරණයේ සභාපති සහ අභියාචනාධිකරණ විනිසුරුවරු හැර අනිකුත් සියලු ම නිලධාරීන් පිරිමැසුම් පන්තියේ (Economy Class) ගුවන් ටිකට්පත් පමණක් මිල දී ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දැනුම් දෙනු ලැබ තිබෙනවා.

මීට අදාළව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ අත්සනින් යුත් චක්‍රලේඛයක් 2023 පෙබරවාරි 22 දිනැතිව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් සහ සියලු ම අමාත්‍යංශ ලේකම්වරුන්, සියලු ම පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත යොමු කර තිබෙනවා.

යම් නිලධාරියෙකුට ව්‍යාපාරික පන්තියේ (Business Class) ගමන් කිරීමට අවශ්‍ය වන්නේ නම්, පිරිමැසුම් පන්තියේ ගුවන් ටිකට්පතක් මිල දී ගැනීමට යන මුදල සහ ව්‍යාපාරික පන්තියේ ගුවන් ටිකට් පතක් මිල දී ගැනීමට යන මුදල අතර වෙනස සිය පෞද්ගලික මුදලින් වැය කර ව්‍යාපාරික පන්තියේ ගමන් කිරීමට හැකියාව තිබෙනවා.

මෙම චක්‍රලේඛයේ සඳහන් ආකාරයට යම් නිලධාරියෙකුට ඉහත විධිවිධානවලට පරිබාහිරව සුවිශේෂි හේතුවක් මත රජයේ අරමුදල් භාවිත කර ව්‍යාපාරික පන්තියේ ගමන් කිරීමට අවශ්‍ය වන්නේ නම්, ඒ පිළිබඳ ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් කර ජනාධිපති ලේකම්වරයාගේ පූර්ව අනුමැතිය ලබා ගත යුතුයි.

අදාළ චක්‍රලේඛයෙහි සඳහන් විධිවිධාන 2023 මාර්තු 1 වන දින සිට බලාත්මක වන අතර, ඒ අනුව මෙම කරුණට අදාළව මීට පෙර නිකුත් කර ඇති චක්‍රලේඛ හෝ උපදෙස් ලිපිවල සඳහන් විධිවිධාන එදින සිට බලරහිත වෙනවා.

වර්තමානයේ රටේ පවතින ආර්ථික හා මූල්‍ය දුෂ්කරතා මත රජයේ අරමුදල් අත්‍යාවශ්‍ය කාර්යයන් සඳහා පමණක් ඉතා අරපිරිමැස්මෙන් යුතුව වැය කිරීමට ගෙන ඇති පියවර අනුව ජනාධිපතිවරයා විසින් මෙම උපදෙස් ලබා දෙනු ලැබ තිබෙනවා.