hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 16, පෙ.ව. 11:35



නුදුරේදී ම ස්ථාවර ආණ්ඩුවක් ඇති නොකළහොත් රට අකර්මණ්‍ය වීමට ඉඩ ඇති බවට මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ අනතුරු අඟවා තිබේ.

අත්‍යවශ්‍ය ඛනිජ තෙල් සඳහා ගෙවීමට ප්‍රමාණවත් විදේශ විනිමය සොයා ගත හැකි ද යන්න පිළිබඳව දැඩි අවිනිශ්චිතතාවයක් පවතින බව මහ බැංකුවේ අධිපතිවරයා බීබීසි පුවත් සේවය සමඟ සඳහන් කළා.

“අපට ඩීසල් නැව් තුනක් සහ පෙට්‍රල් නැව් එකක් හෝ දෙකක් සඳහා මුදල් යෙදවීමට හැකි වී වුණා. නමුත් ඉන් ඔබ්බට රටට අත්‍යවශ්‍ය ඛනිජ තෙල් ගෙන්වීම සඳහා ප්‍රමාණවත් විදේශ විනිමය ලබා දීමට අපට හැකිවේ ද යන්න ගැන අවිනිශ්චිතතාවක් තියෙනවා. එහෙම නොවුණොත් මුළු රට ම වහලා දානවා වගේ තමයි වෙන්නේ. ඉතින් ඒකයි මට ඕන තීරණ ගන්න පුළුවන් අගමැති කෙනෙක්, ජනාධිපති කෙනෙක්, කැබිනට් එකක්. එහෙම නැතිවුණොත් ඔක්කොම මිනිස්සු දුක් විඳීවි.” යැයි ඒ මහතා එහිදී ප්‍රකාශ කළා.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ණය හිමියන් සමග ශ්‍රී ලංකාව සිදු කරන සාකච්ඡාවලින් හොඳ ප්‍රගතියක් ලබා ගැනීමට හැකි වනු ඇතැයි බලාපොරොත්තු වන බව ද නමුත් එම ක්‍රියාවලිය සඳහා ගත වන කාලය රඳා පවතින්නේ, කොපමණ ඉක්මනින් ස්ථාවර පරිපාලනයක් ඇතිවේ ද? යන්න මත බව ඔහු එහිදී පෙන්වා දී තිබෙනවා.

ස්ථාවර රජයක් ස්ථාපනය වූ පසු, ශ්‍රී ලංකාවට මාස තුන හතරක් හෝ පහක් ඇතුළත කොතැනින් හෝ අර්බුදයෙන් ගොඩ ඒමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බව මහ බැංකු අධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

මහ බැංකුව අධිපතිවරයා නව ජනාධිපතිවරයෙකු විය හැකි බවට පෙනී ගිය බවට ප්‍රකාශ පළ වුව ද ඔහු එය ප්‍රතික්ෂේප කර තිබුණා.

“මට කිසි ම දේශපාලන තනතුරක් ගැනීමට අවශ්‍ය නැත” යනුවෙන් ඔහු එහිදී ප්‍රකාශ කර තිබෙනවා.