hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 දෙසැම්‍බර් 05, ප.ව. 2:33



ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ලංකා විදුලිබල මණ්ඩලය අහෝසිකර රජය සතු නව සමාගමේ අටක් පිහිටුවීමට විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත්කරන ලද කමිටුව රජයට නිර්දේශ කර ඇතැයි වාර්තා වනවා.

ඒ සඳහා 2002 අංක 6 දරන විදුලිබල පනත අහෝසි කරන නව පනත් කෙටුම්පතක් විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා විසින් ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීමට නියමිත බව බව රජයේ ආරංචි මාර්ග සදහන් කළා.

විදුලිබල මණ්ඩලය වෙනුවට නව සමාගම් අටක් පිහිටුවීමට අදාළව ඉදිරිපත් කරන ලද කමිටු වාර්තාව විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා විසින් ඉකුත් සතියේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර තිබෙනවා. ඒ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ද මේ වන විට ලැබී ඇතැයි වාර්තා වනවා.

පිහිටුවනු ලබන නව සමාගම් 8 යටතේ විදුලිය ජනනය සඳහා සමාගම් දෙකක් ද සම්ප්‍රේෂණය සඳහා සමාගම් දෙකක් සහ බෙදාහැරීම සඳහා සමාගම් හතරක් වශයෙන් මෙම පිහිටුවීමට යෝජනා වී තිබෙනවා.

විදුලිය ජනනය සඳහා පිහිටුවනු ලබන සමාගම් දෙකෙන් එකක් ජල හා පුනර්ජනනීය බලශක්තිය සඳහා ද අනෙක් සමාගම ඉන්ධන බලාගාර සඳහා ද පිහිටුවීමට යෝජනා වී ඇතැයි දැනගන්නට තිබෙනවා.

එම සමාගම් රජයට බරක් නොවී ව්‍යාපාරික ආයතන ලෙස පවත්වාගෙන යාමට ද යෝජනා වී ඇතැයි එම ආරංචි මාර්ග පැවසුවා.

විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී තනතුර වෙනුවට මෙම සමාගම් අට සඳහා නිසි බලධරයකු පත් කිරීමට ද යෝජනා වී ඇතැයි වාර්තා වනවා.

ඉන්ධන ,විදුලිය සහ ජලය සඳහා පිහිටුවා ඇති මහජන උපයෝගිතා කොමිසම වෙනුවට, විදුලිය සඳහා වෙනම මහජන උපයෝගීතා කොමිසමක් පත් කිරීම සම්බන්ධයෙන් ද රජයේ අවධානය යොමුවී ඇතැයි දැනගන්නට තිබෙනවා.

මේ අතර ,විදුලි බිල සියයට 70කින් වැඩි කිරීමට යෝජනා වී ඇති අතර, ඉන් සියයට තිහක් ජනවාරි මාසයේදී ද ,ඉතිරි සියයට 40ජුනි මාසයේදී ද වැඩි කිරීමට යෝජනා වී ඇතැයි වාර්තා වනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: