hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 08, ප.ව. 1:51



පූජනීය ස්ථාන සඳහා අය කළ විදුලි ගාස්තු ක්‍රමය අහෝසි කොට එම විදුලි බිල හරි අඩකට වඩා අඩු කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා.     

ඒ මහතා අද (08) මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක මේ සම්බන්ධයෙන් උන්වහන්සේ දෙපළ දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණා.                                                                               

ප්‍රථමයෙන් මල්වතු මහ නාහිමි අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදුටු සභාපතිවරයා කියා සිටියේ පූජනීය ස්ථානවල විදුලි බිල සියයට පන්සිය පනහකින් වැඩිවී ඇති බවත් එම බිල ගෙවීමට නොහැකි බවත් මහා නායක හිමිවරු මෙන්ම අන් ආගමික නායකයන්ද ජනාධිපතිවරයා වෙත දැනුවත් කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් යම් කිසි පියවරක් ගන්නා ලෙස ජනාධිපතිවරයා තමන්ට උපදෙස් ලබා දුන් බවයි.

ඒ අනුව මෙම පූජනීය ස්ථාන විදුලි බිල පොදු කාර්යය යටතේ ගෙන හරි අඩකින් අඩුකරන ලෙස මේ වන විට විදුලිබල මණ්ඩලය දැනුවත් කොට ඇති බවත් ඊට අමතරව පූජනීය ස්ථාන වල විදුලි බිල අඩු කිරීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් යම් මුදලක් ලබා ගැනීමට පියවර ගෙන ඇති බවත් ඒ අනුව පූජනීය ස්ථානවල විදුලි බිල ඉකුත් අගෝස්තු මස 08 දින සිට පරණ පැවති බිල් හා සමානව ලැබීමට නියමිත බවත් ඒ මහතා පෙන්වා දුන්නා.

මෙහිදී අදහස් පළ කළ මල්වතු මහ නාහිමියන් කියා සිටියේ විදුලිබල මණ්ඩලයේ සිදුවන මහා පරිමාණ වංචා දුෂණ අවම කළහොත් මේ ආකාරයෙන් විදුලි බිල වැඩි කිරීමට සිදු නොවන බවයි.

ඊට අමතරව විහාරස්ථාන හා ආගමික සිද්ධස්ථාන සඳහා විදේශ ආධාර මත පුනර්ජනනීය විදුලි උත්පාදන ක්‍රමවේද ස්ථාපිත කිරීමට පියවර ගන්නා බවද ඒ මහතා නාහිමිවරු හමුවේ කියා සිටියා.

“ආගමික සිද්ධස්ථාන හා පුණ්‍ය කටයුතු ආයතන 48,000 ක් පමණ ලංකාවේ ලියාපදිංචි වී තිබෙනවා. අගෝස්තු මාසයේ සිට මේ වැඩිවූ විදුලි බිල අඩුකරන ලෙස අපි විදුලි බල මණ්ඩලයට උපදෙස් දී තිබෙනවා. ඒ වගේම කිසිදු විහාරස්ථානයක, ආගමික සිද්ධස්ථානයක විදුලි බලය විසන්ධි කරන්න එපා කියලත් අපි උපදෙස් දීලා තියෙනවා. එනිසා දැන් ප්‍රශ්නයක් නැහැ. පෝය දවසේ පන්සල් අඳුරේ කියන්න අවශ්‍ය නැහැ කියලා අපි මහා සංඝරත්නයට වගේම අනිකුත් ආගමික නායකයන්ට ඉල්ලා සිටිනවා” යනුවෙන් ද හෙතෙම ප්‍රකාශ කළා.

අස්ගිරි පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන්ද බැහැදුටු සභාපතිවරයා මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පියවර ගත්තා.           

මහනුවර – කමල් සුරවීර                                 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: