hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 අප්‍රේල් 27, පෙ.ව. 11:12



උණ රෝගය සඳහා ප්‍රතිකාර ගැනීමට ගම්පොළ කුරුදුවත්ත ප්‍රාදේශීය රෝහල වෙත පැමිණි හත් හැවිරිදි දැරියකට පැරසිටමෝල් අධි මාත්‍රාවක් ලබා දීමෙන් මිය ගියා යැයි සැක කරන සිද්ධිය පිළිබඳව පරික්ෂා කිරීම සඳහා ඊයේ (26) විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් යෙද වූ බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ නිහාල් වීරසූරිය මහතා පැවැසුවා.

මෙම සිද්ධියෙන් උඩහේන්තැන්න, උඩුවැල්ල, තාමරවල්ලි ජනපදයේ පදිංචි ශාමලී තරුෂි නමැති දැරිය ගම්පොළ ශික්ෂණ රෝහලේදී මියගොස් තිබෙනවා.

උණ රෝගය වැලඳීම නිසා මවුපියන් විසින් දැරියට කුරුදුවත්ත රෝහලින් දෙවරක් ඖෂධ රැගෙනදී තිබෙනවා.

වෛද්‍යවරුන් නියමිත මාත්‍රාව සටහන් කරදී තිබුණද රෝහල් ඖෂධ හලෙන් පැරසිටමෝල් ලබා දීමේදී වැඩිහිටියන්ට ලබා දෙන ප්‍රමාණය සඳහන්ව තිබූ ඖෂධ වට්ටෝරුවක් දැරියට දී තිබෙනවා.

එම ඖෂධ දවටනයේ තිබූ මාත්‍රාව අනුව මවුපියන් දරුවාට පෙති දෙක බැගින් ලබාදී තිබූ බව හෙළි වී තිබෙනවා.

අසාධ්‍ය වූ දැරිය පසුව ගම්පොළ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර එහි වෛද්‍යවරුන් ඇය දැඩි සත්කාර ඒකකයට යොමු කිරීමට පියවර ගෙන තිබුණද ගම්පොළ රෝහල ඇතුළු අනෙකුත් ආසන්න රෝහල්වල සියලු ඇඳන් හිස්ව නොතිබූ නිසා දැරිය රාගම රෝහල වෙත රැගෙන යෑමට පියවර ගෙන තිබුණා.

ඒ අතර දැරිය දැඩි නොසන්සුන්කාරී තත්ත්වයෙන් සිටි නිසා දැරියගේ පියාගේ කැමැත්ත රැගෙන ඇය සිහි නැති තත්ත්වයට පත් කළද කොළඹ රැගෙන යෑමට පෙර ඇය සිහි නොලබාම ගම්පොළ රෝහලේදීම මියගොස් තිබෙනවා.

දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය මහනුවර මහරෝහලේදී සිදුකළ අතර අක්මාවට දැඩි හානි සිදු වීමෙන් ඇය මියගොස් ඇති බව සඳහන්.

ඇගේ ශරීර කොටස් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා රසායනාගාර පරීක්ෂණයකටද යොමු කිරීමට මහනුවර අධිකරණ වෛද්‍ය නිලධාරී සී.යූ. වික්‍රමසිංහ මහත්මිය කටයුතු යොදා තිබුණා.

මෙම සිද්ධිය පිළිබඳව මහත් ආන්දෝලනයක් ඇති වී තිබුණු පසුබිමක මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා මේ සඳහා පරීක්ෂණයක් කිරීමට තීරණය කරමින් මෙසේ පරීක්ෂණ කණ්ඩායමක් පත් කර තිබෙනවා.