hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 මාර්තු 13, ප.ව. 2:20



සිඟිති දරුවන් සිටින මවුවරුන් වංචාකාරී අයුරින් විදේශ රැකියා සඳහා යොමුවීම හේතුවෙන් එම දරුවන් කරදරවලට ලක්වන සිදුවීම් විවිධ ප්‍රදේශවලින් වාර්තා වන බව ශ්‍රී  ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවැසුවා.

වයස අවුරුදු දෙකට අඩු දරුවන් සිටින මවුවරුන්ට විදේශ රැකියා සඳහා අවසර ලබා නොදෙන බවත්, ඊට ඉහළ වයස් කාණ්ඩවල දරුවන්ගේ භාරකාරිත්වය, අධ්‍යාපනය හා රැකවරණය වැඩපිළිවෙළ පිළිබඳ වාර්තාව ලබාදිය යුතු බවත් එම කාර්යාංශය සඳහන් කළා.

වයස අවුරුදු 45ට අඩු කාන්තාවක රැකියාවක් සඳහා විදේශ ගතවන්නේ නම් අනිවාර්යයෙන් තම දරුවන්ගේ රැකවරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් වාර්තාවක් කාර්යාංශය වෙත ඉදිරිපත් කළ යුතු බවද ශ්‍රී  ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවැසුවා.

මේ ආකාරයට වයස අවුරුදු 02ට අඩු දරුවකු සිටින කාන්තාවක නීතිවිරෝධී අයුරින් රැකියාවක් සඳහා විදේශගත වීමෙන් අනතුරුව දරුවාට කරදර කළ පියකු බකමූණ පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇතැයි එම කාර්යාංශය සඳහන් කළා.

තමන්ගේ වයස අවුරුදු එකහමාරක් වන සිඟිති දියණියට හිංසා පීඩා කරමින් එම අවස්ථා ඡායාරූප ගත කර ඩුබායි හි සේවය කරන දැරියගේ මවට යැවූ මෙම පියා අත්අඩංගුවට ගෙන පසුගිය (10) අධිකරණයට ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී  ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවැසුවා.

මෙම දැරියගේ මව ආර්ථික අපහසුතා හේතුවෙන් දැරියට වයස අවුරුද්දක් ගත වන විට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වීමකින් තොරව නීතිවිරෝධී අයුරින් ඩුබායි රාජ්‍යයේ රැකියාවකට පිටත්ව ගොස් තිබෙන බවද එම කාර්යාංශය සඳහන් කළා.

වරින් වර කුඩා දැරියට හිංසා කරමින් ඡායාරූප මෙම කාන්තාවට යවා ඇති සැකකරු මුදල් නොඑවන්නේ නම් දිගින් දිගටම දැරියට කරදර කරන බවට තර්ජනය කර ඇතැයිද විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවැසුවා.

දැරියගේ මිත්තණිය කළ පැමිණිල්ලක් මත අත්අඩංගුවට ගත් සැකකරු හිඟුරක්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ බවත්, කුඩා දියණිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පොළොන්නරුව මහ රෝහල වෙත යොමු කළ බවත් කාර්යාංශය සඳහන් කළා.